Hillwood College - Kandy, Ceylon

1818දී අරගල සියල්ල සමතයකට පත් කරගන්නට ඉංග්‍රීසිනට හැකිවීමෙන් අනතුරුව ගාල්ල, යාපනය, මහනුවර, සහ කොළඹ ඇතුළු ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලකම ඉතා වේගයෙන් නොයෙක් නොයෙක් මිශනාරි සමාජයන්හි මිශනාරි ක්‍රියාකාරකම් සිදුකෙරුණා. සෙනානා මිශනාරි සමාජය එසේත් නැතිනම් CEZMS නමින් හඳුන්වන Church of England Zenana Missionary Society එලෙස ලංකාවේ ව්‍යාප්ත වුණු ඇන්ග්ලිකානු මිශනාරි සමාජයක්. සෙනානා (Zenana) යන්නෙහි ඉන්දියානු අරුත වන්නේ පිරිමින් හට ඇතුල්විය නොහැකි කාන්තාවෙන් වෙනුවෙන් වෙන්වූ කොටස යන්නයි. කාන්තා ධර්ම දූතිකාවන්ගෙන් හෙබි මෙම මිශනාරි සමාජය 1880දී මූලික වශයෙන් ඇරඹෙන්නේ ඉන්දියාවේ වෙසෙන කාන්තාවන් උදෙසායි. නමුත් එය 1889දී ලංකාවටත් ව්‍යාප්ත වෙනවා. එසේ ලංකාවට පැමිණෙන්නේ සුවිශේෂී කටයුත්තක් උදෙසායි. ඒ ගැන කියන්නයි මේ ලෑස්ති වෙන්නේ. 





ඇත්තටම ඔවුන් එලෙස ලංකාවට එන්නේ උඩරට රදළ ප්‍රධානීන්ගේ දූ කුමාරිකාවන් හට ක්‍රිස්තියානි අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන්.
එවකට කොළඹ, ගාල්ල, සහ යාපනය යනාදි පළාත් වල ගැහැණු ළමුන් උදෙසා පාසල් ගොඩනැගී තිබුණත්, ඒවා අති සාර්ථකව ක්‍රියාත්මක වුවත්, මෙම ප්‍රධානීන් තමනගේ දැරියන් එම පාසල් කරා එවීමට, පහතරැටියන් හා එකට මුහු කිරීමට මැලි කමක් දැක්වූවා. මෙම බාලිකා පාසල් බොහොමයක් බෝඩිං පාසල්. විශේෂයෙන්ම කොට්ටේ Cotta Institute (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය) හි බාලිකා පාසල වූ Cotta Girls' Boarding School සහ කොළඹ හි Bishopsgate School (වර්තමාන Bishop's College), ඇන්ග්ලිකානු බාලිකා පාසල් අතර එකල ප්‍රමුඛත්වයක් දැරුවා.
මේ කාලය වනවිට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඇරඹී අවසන්.

Kandy lake view with the building of Hillwood seen at distance.


උඩරට රදළ ප්‍රධානියෙකු වූ, කොළඹ නගර සභාවේ ලේකම් ධූරයට පසු කලෙක පත්වූ, ආර්. ආර් දුනුවිල මහතාගේ මහත් දායකත්වයෙන්, ජේ. අයර්ලන්ඩ් ජෝන්ස් පියතුමා විසින් උඩරට රදළ ප්‍රධානීන්ගේ පුත් කුමාරවරුන් හට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම පදනම් කොට 1857 දී මහනුවර ඇරඹි Kandy Collegiate School ක්‍රිස්තියානි පාසල එතරම් සාර්ථක වන්නේ නෑ. ඒ අරමුදල් එතරම් නොමැති වීමත්, ඉංග්‍රීසි උරුවට ඉගෙනගැනීමට යම් හෝ කැමත්තක් දැක්වූ උඩරැටියන්, ඇන්ග්ලිකානු පාසලක් වූ මෝදර ශාන්ත තෝමස් විද්‍යාලය (වර්තමාන ගල්කිස්ස) සහ ඇන්ගලිකානු සබඳතා ඇති කොළඹ ඇකඩමිය (වර්තමාන කොළඹ රාජකීය විද්‍යාලය) කෙරෙහි ආකර්ෂණය වීමත් නිසා. මේ පාසල් ද්විත්වයම එංගලන්තයේ ඊටන් ආකෘතියේ පාසල්. මේ නිසා වසර හයකට පසු එම මහනුවර පාසල වසාදමන්නට සිදුවෙනවා. 1871දී නැවත එය ආරම්භ වන්නේ ආර්. කොලින්ස් පියතුමාණන්ගේ මැදිහත් වීමෙන් Trinity College යන නමින්. මේ වනවිට දෙවන වරටත් නිදහස් අරගල උණුසුම හොඳටම නිවී අවසන්. එමෙන්ම මිශනාරි අධ්‍යාපනය ලැබූවන් හට ලැබෙන වරප්‍රසාදත් ඇස් ඉදිරියේ දැකගන්නට ඒ වන විට උඩරැටියනට හැකියාව ලැබී තිබුණා. එබැවින්දෝ මෙවර පාසල් ව්‍යාපෘතිය බොහොම සාර්ථකත්වයට පැමිණෙනවා. නමුත් ඊළඟ ගැටලුව වන්නේ මෙලෙස ඉංගීසි පන්නයට අධ්‍යාපනය ලබන උඩරට අප්පොලාට ගැලපෙන උගත් උඩරට මනාලියන් සෙවීමයි. උඩරට පුංචි මැණිකෙලා විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් නොලදහොත්, ඒ ජීවන රටාව හා පෑහෙන්නට නොහැකි වුවහොත්, උගත් බුද්ධිමත් තරුණ නිලමේලා සියල්ල පහතරට උගත් රූමත් ළමිස්සියන් හා බැඳීයාම වළක්වන්නට බැරි වනවා. එය උඩරට පැලන්තියට ගැටලුවක්. තමන්ගේ කොළණියේ අනාගත යටහත් පහත් සේවකයන් හට සුදුසු බිරින්දෑවරුන් නොසිටියහොත්, එතුමියන්ලා ඉංග්‍රීසි පන්නයට හැඩ ගැසී නොසිටියහොත් එය ඉංග්‍රීසින්ටත් ගැටලුවක්. එයට පිළියමක් ලෙස ඕක්ලි මහත්මිය විසින් ගොඩනගන ලද බාලිකා බෝඩිං පාසල අසාර්ථක වෙනවා.

 
✍ Clarence Memorial School

Group of pupils at the Clarence Memorial School for Daughters of Kandyan Chiefs,

The Royal visit to Ceylon, April 1901

https://cudl.lib.cam.ac.uk/view/PH-QM-00002/38
Cambridge University Library

1901-04-12 - 1901-04-15 W L H Skeen and Co



වරක් පාසලක් ඉදිකොට අසාර්ථකත්වයට පත් පෙරකී ජේ. අයර්ලන්ඩ් ජෝන්ස් පියතුමා සහ එම මැතිනිය එමනිසා උඩරට පොඩි මැණිකෙලාට උගන්නන වැඩේට බොහොම ලොකු කැමැත්තක් දැක්වූවා. උඩරට දෙමව්පියන්, තමන්ගේ දියණියන් ඉංග්‍රීසි නෝනාවරුන්ගේ භාරකාරීත්වයට පවරායන්නට පොළඹවාගන්නට හැකියාවනු ඇතැයි කියා, සියලු බාධා සහ බොහෝදෙනාගේ එදිරිවන මතයන් හමුවේ ඔවුන් විශ්වාස කළා . කෙසේ හෝ ඒ දෙපළ හට මේ විශ්වාසය මල්ඵල ගන්වන්නට දැඩි සහයක් ලබාදෙන්නේ CMS හෙවත් Church Missionary Societyයයි. තම දියණියන් හට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම සහ අවශ්‍යතාවය වටහාගන්නා උඩරට රදළ ප්‍රධානීන් තිදෙනෙක්ද මෙම කටයුත්තට දැඩි සහයක් ලබාදෙනවා.

The kid seated in middle at bottom row.
Rupawathy Rambukpotha Katugaha Kumarihamy (first cousin) in 1910. b:1894, d:22 Apr 1964, attended Clarence Memorial School as a five year old in 1900, 46th student, (later Hillwood College Kandy), the premier ladies school that was established by the earliest missionaries of the Zenana Missionary Society of The Church of England. The school was started in 1890 by Ms Elizabeth Bellerby and Ms Ethel James and was exclusively meant to provide English Education to the young ladies from the Kandyan Gentry. Many years earlier the Church Missionary Society of England had founded a College for the education for the sons of Kandyan Chieftains and it had been named The Kandy Collegiate School in 1872 and later renamed to Trinity College in 1876 by which name it still functions today, in the year 2006. She left Hullwood College on 24 Oct 1910 having seen her second sister Seelawathie also enter the school three years earlier on 12 Nov 1907 as its 115th student. Her contemporaries at Hillwood were Nandu Menika Rambukwella, Muriel Kapuwatte, Maria Keppetipola, Dorothy, Ethel, & Alice Paranagama, Amelia Madugalle, Daisy Dunuwila, Damayantha Panabokke, Seela, Magantha, & Suja Aluvihare, Manthri Bibile and Suja Dullewe. Lived at Ranawana Walauwa with her widowed mother and siblings after the demise of her father. Later she moved to Giragama Walauwa, the residences of her maternal uncle, the late Tikiri Bandara Mampitiya Disawa of Yatinuwara. It was at this Walauwa that she married her paternal first cousin later in he same year. She spent the early part of her married life at her husbands residence at Katugaha Walauwa which was a sprawling mansion at Puwakgodamulla within the town of Badulla. Later she moved to Lewwe Walauwa, another large country residence built by her husband in the village of Katugaha on Lewwegoda Estate in close proximity to the Katugaha Maha Walauwa. She occupied both residences based on her conveniences and also accomodated her ageing mother, Mampitiya Rambukpotha Kumarihamy, with her most of the time. Small in stature, but extremely fair in complexion, with a round face and thinning head of curly grey hair she resembled he late Queen Victoria of England in many ways. Her own children and her three nephews used to call her by that name whenever they would banter. A Queen she was to all of the family right through her life until her rather early demise which took place in Kandy in 1964. (3117)



ඒ අනුව සියලු දෙනාගේ උනන්දුව මත සෙනානා මිශනරි සමාජය මීට මැදිහත් වී එලිසබෙත් බෙලර්බි මෙනවිය සහ ඒතල් ජේම්ස් මෙනවිය 1889දී ලංකා දිවයින වෙත එවන්නට කටයුතු කරනවා. නමුත් ඔවුන් දෙපළ සිංහල දන්නේ නැහැ. මෙවැනි කටයුත්තකදී ස්වදේශික භාෂාව උගෙනීම පළමුව කළ යුතුයි. ඔවුන් මහනුවර බලා එන්නේ පෙර කී කෝට්ටේ CMS බාලිකා පාසලේ රැඳී සිංහල උගෙනගෙන ඉන් අනතුරුවයි. මහනුවරට පැමිණ එක්වරම පාසලක් ආරම්භ කරන්නට හැකි වන්නේ නැහැ. එනිසා ඔවුන් මහනුවර ආශ්‍රිත ගම්මානයන්හි නොයෙක් මිශනාරි සේවා කටයුතු සඳහා දායක වනවා, ගම්වැසියන් සහ පරිසරය දැන් හැඳිනගැනීම පිණිස. 1890දී බෝඩිං පාසල සඳහා සුදුසු මහනුවර බංගලාවක් ඔවුනට හමුවෙනවා. ඒ සඳහා උදව් දෙන්නේ ත්‍රිත්ව විද්‍යාලයේ කලෙක විදුහල්පති වූ ජේ. ජී ගැරත් පියතුමන්. කෝට්ටේ මිශනාරි පාසලේ ආර්. ගුණරත්න මෙනවිය, මහනුවර ඉදිවන මෙම නව පාසල සඳහා වෙහෙස නොබලා දැක්වූ කැපවීමද අති මහත්. එසේම ඩ්බ්. ඩී. ගිබන් මහතා පාසලේ මුදල් ලේකම් ලෙස තනතුරු භාරගන්නවා. උඩරට මැණිකෙලා අරභයා ඉදිවන මෙම පාසල නම් වන්නේ ක්ලැරන්ස් අනුස්මරණ පාසල නමින්. එසේ නම් වන්නේ පාසල ඉදිකරන්නට මුල්වූ ජේ. අයර්ලන්ඩ් ජෝන්ස් පියතුමා සහ එම මැතිණියගේ අකාලයේ මියගිය දරුවා සිහිපත් වන්නට. නමුත් හිල්වුඩ් බංගලාවේ පාසල පිහිටි නිසා පසු කාලීනව බොහෝ දෙනා එයට හිල්වුඩ් පාසල යයිද කියන්නට වූ නිසා, ඔවුන් දෙපළගේ මරණයෙන් පසු කාලයකදී, පැටලීම් මගහැරවාගන්නට ක්ලැරන්ස් නාමය ඉවත්කොට හිල්වුඩ් කොලීජිය ලෙසින් ස්ථාපිත වෙනවා. සිසුවියන් හත්දෙනෙකුගෙන් ආරම්භ වූ පාසල අවුරුද්දක් ගතවූ තැන සිසුවියන් සංඛ්‍යාව 12දෙනෙකු දක්වා වර්ධනය කරගන්නවා. ඔවුන් සියල්ල උඩරට වැදගත් ප්‍රභූවරුන්ගේ දියණියන්. එම පළමු සිසුන් සත් දෙනා නම් ඊඩිත් ෆ්ලෝරන්ස් ඊරියගම, ජේන් ගිරාගම, ජූලියා පරණගම, ජූනි එලිසබෙත් වීරසිංහ, ලොරෙන්ෂියා එමිලි වීරසිංහ, හෙලන් කැරොලයින් ඉලංගතිලක, ලොකු මැණිකේ රඹුක්වැල්ල යන දැරියන්ය. මෙහි ජූලියා පරණගම හෙවත් ජූලියා නුවරවැව පරණගම අළුවිහාරේ කුමාරිහාමි පාසලෙන් අස් වූ පසුවද විවාහ වී ආගමික පිළිවෙත් පිළිපැද සිටි බව බෙලර්බි මහත්මිය සතුටින් පවසා තිබෙනවා. නමුදු එක් සිසුවියකට පවුලේ බලපෑම් මත එසේ කරන්නට නොහැකි වූ බව පවසන්නේ ඉමහත් කණගාටුවෙන්.

Miss Elizabeth Bellerby (Founder of Hillwood Girls' College Kandy)

Ref: College Photo Book.



හිල්වුඩයේ මෙම සාර්ථකත්වයෙන් සිදුවූ තවත් හොඳක් නම් අවදි වූ බෞද්ධයන් විසින් පරමවිඥ්ඥානාර්ථ බෞද්ධ සමාගමේ මූලිකත්වය යටතේ ඉංග්‍රීසි පන්නයට බෞද්ධ වටාපිටාවක් සහිතව හිල්වුඩ් ආකාරයේ කාන්තා බෝඩිං පාසලක් ඉදිකර ගැනීමයි. කොළඹ මියුසියස් කාන්තා බෝඩිං පාසල (වර්තමාන Musaeus College) ලෙස නම් වූ එය, එතුවක් කලක් මිශනාරි අධ්‍යාපනය ලබා පහතරට සිටි බොහෝ බෞද්ධ බාලිකාවන් ආකර්ෂණය කරගැනීමට සමත් වුණා.

Hillwood College
මැහුමේ ගෙතුමේ සිට ගෘහ පාලනය සඳහා අවැසි සියලුම දැනුම පාසල විසින් සිසුවියන් වෙත දෙනු ලැබුවා. සිසුවියන් විසින් නිර්මාණය කරනා ලද සිංහල එම්බ්‍රොයිඩර් වැඩ දැමූ මැහුම් ගෙතුම් එකල මහනුවර පැවැත්වූ විවිධ ප්‍රදර්ශන වල හිල්වුඩ් කොලීජිය නියෝජනය කරමින් ප්‍රදර්ශනය වුණා. 1892 වනවිට හිල්වුඩ් බෝඩිං පාසල සිසුවියන් 20දෙනෙකු උගෙනගන්නා තරමට දියුණු මට්ටමට පත්වෙනවා. දුම්රිය පද්ධති සහ මෝටර් රථ නොතිබූ එම මුල් යුගයේදී එම සිසුවියන් හට ගමනාගමන ගැටළු නිසා නිවෙස් කරා යාමට නිවාඩු ලැබුණේ සිංහල අවුරුදු කාලය වූ අප්‍රේල් මාසයේ පමණයි. මෙම උඩරට ප්‍රධානීන් බොහෝ දෙනෙකුගේ වාසස්ථාන වූයේ මහනුවර නගරය කරා ඒමට ඇති මං මාවත් වලින් බොහෝ ඈත කඳුබඩ වනගත පෙදෙස් වල. දුෂ්කර මාර්ග වල ඇති කටුකත්වය නිසා අවුරුද්දට කිහිපවරක් නිවෙස්බලා ගොංකරත්ත මඟින් යෑමට ඒමට නොහැකියාවක් ඔවුනට තිබුණා. නමුත් සෙනානා සමාජයට සම්බන්ධ එංගලන්තයේ නෝනාවරුන් පාසලට බෝනික්කන් සහ බෝනික්කන් ගෙවල් ඇතුළු බොහෝ සෙල්ලම් බඩු නිතිපතා එවූ බැවින් එලෙස නොගොස් සිටියා කියා දැරියන්ගේ විනෝදයට අඩුවක් පාඩුවක් වුණේ නැහැ. විශේෂයෙන්ම සියලු විභාග නිමවී එළඹෙන නත්තල් සමය හිල්වුඩයේ සිසුවියන් හට, ගුරුවරුන්ගෙන්, නත්තල් සීයාගෙන් තෑගි බෝග බොහෝ ලැබෙන, නත්තල් කැරොල් ගීතිකා කියමින් සිටින්නට ඇහැකි ප්‍රීතිමත් කාලයක්.

Piano Lessons at Hillwood College, Kandy Ceylon


කලකින් ජේම්ස් මෙනවිය, බෙලර්බි මෙනවියගේ සොහොයුරෙකු හා විවාහපත්වූ බැවින් ඇය වෙනුවට මෝල්ඩන් මෙනෙවියද ඉන් අනතුරුව කෙටි කාලයක් සඳහා ස්කොවල් මෙනෙවියද පැමිණ ගුරුවරුන් ලෙසින් කටයුතු කරනවා. 1892දී මහනුවර රජයේ ඒජන්ත පී. ඒ ටෙම්පල් මහතා මෙම පාසල පිළිබඳ තමන්ගේ වාර්තාවල මෙලෙස සටහනක් යොදා තිබුණා. 👇
"උඩරට නායකයන්ගේ දියණියන්ගේ අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි කාන්තාවන් කිහිපදෙනෙකු විසින් මහනුවර කරගෙන යන ප්‍රශංසනීය විද්‍යාලය ඇස නොගැටී මට යා නොහැක. මෙතාක් කාලයක් අන්ධකාර අශ්ලීල උඩරට වලව් දිවියක් උරුම වී තිබූ, උරුම වියයුතු යැයි සිතූ සමාජ කොටසකට දැනුම බිඳුවක් ලබා දීම, ස්ත්‍රී නිපුණත්වයක් ළඟා කරදීම, එය අඩක් සාර්ථක වුවත් එවැනි උත්සහයක් ගැනීම කුඩා දෙයක් ලෙස සැලකිය හැකි නොවේ."

එකල මෙම දැරියන්ගේ ප්‍රියතම ක්‍රීඩාවන් වූයේ ස්ටූල්බෝල් ක්‍රීඩාවත්, battledore and shuttlecock(වත්මන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට පූර්වගාමී වූ ක්‍රීඩාව) ක්‍රීඩාවත්. 1895 වනවිට බංගලාවේ ඉඩකඩ ඇහිරීයන තරමට සිසුවියන් ප්‍රමාණය වැඩි වූ බැවින් සිසුවියන් 30දෙනෙකුට නවාතැන් ගත හැකි ශයනාගාරයක් එහි ඉදිවනවා. නමුත් මේ සෑම දරුවෙක්ම දෙමව්පියන්ගේ බලවත් කැමැත්ත පරිදි පාසලට එවූ දැරියන් යැයි සිතීම නිවැරදි නැහැ. ඉන් සමහරෙක් පැමිණියේ මිශනාරි සාමාජිකයන්ගේ ගුරුවරියන්ගේ බලවත් මැදිහත් වීම නිසා. 1895දී හිල්වුඩය වෙත පැමිණෙන්නේ බෙංගාලයේ වැඩකොට අත්දැකීම් සහිතව සිටි ලේනා චැප්මන් මෙනවියයි. එම ගමන පසුකලෙක ඇගේ ජීවිතයේ අනාගතය තීරණය කරනවා. ඈ කියනා පරිදි මෙම සමහර දියණියන්ගේ මව්වරුන් සහ මිත්තණියන් වූ කුමාරිහාමිනේලා කාන්තා අධ්‍යාපනය කෙරෙහි මහත් බාධාවක්. සමහර දැරියන් හට වයස අවුරුදු දොළහේ හෝ දහතුනේදී විවාහවන්නට සිදුවූ නිසා පාසල හැරදමා යන්නට සිදුවූ බව ඇය පවසනවා.

Early students of Clarence Memorial School with Miss E. Bellerby and Rev. John G. Garrett


1897දී බෙලර්බි මෙනවිය අසනීප තත්වයක් මත කලකට නිවාඩුගෙන මව්බිම කරා පිටත්ව ගිය බැවින් වැඩ බලන මෝල්ඩන් මෙනෙවිය හට අත් උදව්වට පැමිණෙන්නේ ඇලිස් ගර්ට්රූඩ් නායිශ් මෙනවියයි. නමුත් 1901දී දරාගත නොහැකි අධික වැඩකන්දරාව හේතුකොටගෙන ඇලිස් මෙනවිය අසනීප වී තම මව්බිමට ගොස් එහිදී මිය යනවා.
✍ Female Education
1901 වර්ෂයේ අප්‍රේල් මාසය හිල්වුඩයට වැදගත් මාසයක්. ඒ එකල කෝන්වල් ආදිපාද හෙවත් වේල්සයේ කුමරා සහ එම මැතිණිය ලක්දිවයිනේ සංචාරයක් පිණිස පැමිණිකල හිල්වුඩ් පාසල සහ එම සිසුවියන් දැකගැනීම පිණිස මහනුවර ගමනේදී පාසලට ගොඩවැදීම හේතුවෙන්. සිලෝන් කොළණියේ බෙලර්බි මහත්මියගේ පුංචි උත්සහය පිළිබඳ ප්‍රශංසාත්මක වදන් එංගලන්තය කරාද ප්‍රචලිත වී තිබුණා. මේ ගමන පිළිබඳව වාර්තාකරන සිලෝන් ටයිම්ස් පුවත්පත, ආදිපාදතුමන් සහ එම මැතිණිය වෙත රුක් අත්තන මලින් සැරසූ මල් කළඹක් පුද කල කුඩා දැරියන් දෙදෙනාගෙන් එක් දැරියකට, ආදිපාදතුමන් තමන්ගේ ඇඳුමින් ගෙන බොත්තම් කාසියක් තිළිණ කල බව පවසනවා. සිසුවියන්ගෙන් එතුමන් විමසූ ප්‍රශ්න සියල්ලකට බොහොම ප්‍රශස්ත පිළිතුරු ලැබුණු බවත්, එමඟින් එතුමන් පාසල පිළිබඳ මහත් සෑහීමකට පත්වුණු බවත් එහි කියවෙනවා. එපමණක් නොව වැඩිදුර අධ්‍යාපනය උදෙසා වැඩිමහල් සිසුවියන් කිහිප දෙනෙකු පාසලේ තවමත් රැඳී සිටීම එතුමන් මවිතයට පත්වූ කරුණක් වුණා.

Students of Hillwood ca.1906
During the principalship of Miss E. Bellerby

Ref: College Photo Book.



1912දී අඳ බිහිරි විද්‍යලයට මහත් සේවාවක් කල මෙනාජ් මෙනවිය 1902දී අවුරුද්දක සේවාකාලයක් සඳහා හිල්වුඩයේ ගත කර තිබෙනවා. 1903දී මෝල්ඩන් මෙනෙවිය විශ්‍රාම යන අතර කණිෂ්ඨ කේම්බ්‍රිජ් විභාගය සඳහා මුල්ම සමාර්ථය සිසුවියක් විසින් ලබාගන්නේ එම වසරේ. ඒ ලොකු මැණිකේ රඹුක්වැල්ල සිසුවිය විසින්. මෙම සිසුවියන් එලෙස මුල්වරට කේම්බ්‍රිජ් විභාගය සඳහා පෙනී සිටින්නේ, 1898 වර්ෂයේ දෙසම්බරයේ පැවැත්වූ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඇරයුම් ලැබූ රජයේ පාසල් පරීක්ෂක ඈෂ්ලි වෝකර් මහතාගේ කතාවේදී කල දිරිගැන්වීමත් නිර්දේශයත් පරිදියි. එතුමන් පාසල ලද සිඝ්‍ර දියුණුවත් සිසුවියන්ගේ ව්‍යක්ත ඉංග්‍රීසි කථනයත් දැක මවිත වූ අයෙක්. විභාග සඳහා පෙනී සිටින්නට සිසුවියන් පටන් ගැනීමත් සමඟම සිසුවියන්ගේ පාසල් යන වයස් කාලය දීර්ඝ වනවා. ඉන් පහර වදින්නේ අඩු වයසින් දියණියන් විවාහයට පත්කරනා උඩරට පිළිගත් පිළිවෙතටයි. එකල උඩරට ස්ත්‍රීන් බොහෝ විට වයස අවුරුදු පහළොවට පෙර විවාහයට පමුණුවනවා. පාසලේ මුල් දශකයේදී බෞද්ධ මවක විසින් පාසලෙන් නැවත නිවසට කැඳවාගත් කුඩා දැරියක්, මවගේ අවලාද මධ්‍යයේ පාසලේදී ඉගෙනගත් ආගමික වතාවත් එලෙසින්ම පවත්වාගත් නිර්භීත ආකාරය මහත් අමන්දානන්දයෙන් බෙලර්බි මහත්මිය එක් සඟරාවකට කියා තිබෙනවා. එමෙන්ම දරුවන් සත් දෙනෙකුගෙන් යුතු පවුලක මව් මිය ගිය බැවින්, තම දියණියන් හට පාසල් සමය අවසානය දක්වා අකුරු කරවන්නට බැරි වේ යැයි සිතා අසරණ වූ පියෙකු ගැනද කතාවක් ඇය එහි කියා තිබෙනවා. එම පවුලේ වැඩිමහලු දියණියට වයස අවුරුදු පහළොවක් වූ නිසා උඩරට සිරිතට අනුව ඈ විවාහ විය යුතු කාලයයි. නමුත් බෙලර්බි මහත්මිය මැදිහත් වී ඇය වයස අවුරුදු 17 වනතුරු පාසලේ රඳවාගන්නේ දියණියට ඉන්පසු හොඳ ස්වාමියෙකු සොයා දෙන පොරොන්දුවෙන්. නමුත් එය බෙලර්බි මහත්මිය සිතන තරම් පහසු වන්නේ නැහැ. ඇය විසින් ගෙනහැර පෑ බොහෝ තරුණයන්ට පියා අකමැති වන්නේ කුලය පදනම් කොටගෙන. නැතහොත් නියමාකාරයෙන් පිවිතුරු ක්‍රිස්තියානි ආගමානුකූල ජීවිතයක් ගත කරන්නට අපේක්ෂාවක් ඇතිබව එම තරුණයන්ගේ පෙනෙන්නට නොමැති වූ නිසා. අවසානයේ ඉන් දෙදෙනෙකු මූලික පරීක්ෂාවෙන් සමත් වනවා. ඊළඟ වටයේ පරීක්ෂණය සඳහා මේ දෙපළ කරන්නේ ඒ තරුණයන් පිළිබඳ වටෙන් ගොඩෙන් තොරතුරු විමසා සොයා බැලීමයි. ඒ කාරණා කටයුතු හොඳ නම් තෝරාගත් තරුණයා සමඟ මඟුල තීන්දු කොට අවුරුදු දෙකකට පසු දියණියට 17 වන විට විවාහය සිදුකරන බලාපොරොත්තුවෙන්. නමුත් මේ කිසිවකට දියණියගෙන් විමසීමක් නොකිරීම බෙලර්බි මහත්මිය පුදුමයට පත් කරවනවා. විවාහයට පෙර දෙදෙනා හට එකිනෙකා ඇසුරුකොට එකිනෙකා වටහාගැනීමේ වැදගත්කම පෙන්වා ඊට අවසරදෙන්නට පියා පොළඹවාගන්නට බෙලර්බි මහත්මිය ගත් උත්සහය පිළිබඳවයි එහි විස්තර වන්නේ.

Hillwood School,
CEZMS


✍ Lifestyle at Hillwood, Ceylon
විභාග සඳහා දරුවන් සූදානම් කිරීමට 1904දී බී ඒ උපාධියක් සහිතව සිටි ඒවා හෙදර් මෙනවිය පැමිණෙන අතර 1911දක්වාම ඇය හිල්වුඩයේ උගන්වනවා. 1904දී බෙලර්බි මෙනවිය නැවතත් අසනීප වූ බැවින් චැප්මන් මෙනවිය වැඩබලන විදුහල්පතිනිය ලෙසින් කටයුතු කරනවා. සහෝදරියන්ගෙන් වෙන්වන්නට අකමැතිවූ කුඩා සොහොයුරන්ගේ දෙමව්පියන්ගේ බලවත් පෙරෙත්තය මත 1907දී තවත් සුවිශේෂ දෙයක් වෙනවා. ඒ හිල්වුඩ් අසල වූ තවත් බංගලාවක් 'මිඩල්වුඩ්' ලෙසින් වයස හතරේ සිට අට දහය අතර වූ උඩරට කුඩා පිරිමි දරුවන් සඳහා පාසලක් ලෙසින් වෙන්වීමයි. ත්‍රිත්ව විද්‍යාලයට යන්නට වයස එනතුරු ඔවුනට එහි උගෙනිම ලබන්නට හැකි වුණා. හිල්වුඩ් සහ මිඩල්වුඩ් බංගලාවන් දෙක හා කරමින් ආවරණිත මඟක්ද ඉදිවුණා. මිඩල්වුඩ් හි පාලන කටයුතු ගෙනගියේ අකාලයේ මියගිය ඇලිස්ගේ සොයුරිය වූ ඇෆ්. නායිශ් මෙනවියයි.

A stoolball match at Hillwood College, Kandy, with teams in the picturesque native dress.

In Ceylon, the game stoolball, has been played for some years by college students and others.

Stoolball at Hillwood College, Kandy, Ceylon 1927



සිසුවියන් ඉහළ විභාග ගැනීමත් සමඟ ඉහළ සුදුසුකම් ඇති ගුරුවරියන් හිල්වුඩය හා එක්වනවා. ඒ අනුව 1908දී රෝස් ඕවර්ටොන් මහත්මිය ගුරුමණ්ඩලය හා එක්වන අතර 1915දී බී.ඇස්.සී. උපාධිධාරී හෝල් මෙනවිය ඒ හා එක්වනවා. 1908 වනවිට සිසුවියන් සියදෙනෙකු සඳහා බෝඩිං පහසුකම් දීමට හිල්වුඩය සමත්. මෙසේ පරිශ්‍රය විශාල කිරීම සඳහා ඔවුනට කන්දේ විශාල ප්‍රමාණයක් කපාදමා ගිරිකඳුර පිරවීමට සිදුවනවා. දෙමහල් ගොඩනැගිල්ලක්, ක්‍රීඩා පිටියක් සහ ටෙනිස් පිටියක් එහි තැනෙනවා. 1910දී චැප්මන් මහත්මිය හිල්වුඩයෙන් ඉවත්ව, ඉඩ ප්‍රශ්නය නිසා හිල්වුඩය හා එක්වන්නට නොහැකි වන දැරියන් වෙනුවෙන් පේරාදෙණියේ පාසලක් පවත්වාගෙන යනවා. නමුත් අවුරුද්දකට පසු බෙලර්බි මහත්මිය විශ්‍රාම ගත් බැවින් පෙරාදෙණිය පාසලේ දැරියන්ද රැගෙන හිල්වුඩය හා එක්වී එහි විදුහල්පතිකම් දරන්නට ඇයට සිදුවෙනවා.

A stoolball bat from Hillwood School, Kandy, Ceylon (Sri Lanka) 1932

Presented to W. Grantham Esq by Hillwood School, Kandy Ceylon 1932

ref: https://www.stoolball.org.uk/


පාසලේ වූ සොබාවික අලංකාරය ගැන සෙනානා සමාජයේ වාර්තා වල විස්තර වන්නේ මෙලෙසයි: 👇
"නුවර වැවට මුහුණලා කඳුබඩෙහි තැනූ විශාල කාමර ඇති ගොඩනැගිල්ලකින් පාසල සමන්විතයි. එහි පිටුපස කාමර පංතිකාමර සඳහාද, ඉහළ මාලයන් ශයනාගාරයන් ලෙසද වෙන්වනවා. පිවිසුම සහ උළු සෙවිලි කල පහත් වහලය, පැණි කැරළි මලින් ගැවසී ගත් ලියවැලින් සැරසිලා. බිත්ති විවරයන් තුළින් මීවන වර්ග ඇදෙනවා. විවිධාකාර ක්‍රෝටන් වර්ග, කැලේඩියම් වර්ග, රුක් අත්තන සහ ලිලී මල් උද්‍යානය පුරාම දකින්නට පුළුවන්. වර්ෂය පුරාම රෝස මලින් පිරිලා. එසේම එහි සර්පයන්ද සිටිනවා. සමහරෙක් උග්‍ර විෂ සහිතයි. පොල්ගස් මණ්ඩියට ඉහළින් නුවර වැව ඔස්සේ නැගෙනහිරට වන්නට වූ කඳු පංතිය අතරෙහි වූ හිඩැසින් මෙහි සිට දුම්බර නිම්නය දැකගත හැකියි."

Miss E. Bellerby (1889-1910)
Opened in 1889 the Clarence Memorial School for the daughters of Kandyan chiefs. The school is now known as Hillwood.



එහි සිටිනා සිසුවියන් ගැන එහි පැවසෙන්නේ මෙලෙසින්:
👇
"වයස අවුරුදු හතරේ පහේ ළදැරියන්ගේ සිට සිට දහහතර පහළොවේ නව යොවුන් යුවතියන් දක්වා සියලුම වයස් වල සිසුවියන් මෙහි අධ්‍යාපනය ලබනවා. සාමාන්‍ය පෙනුම ඉන්දියානු යුවතියන් සේ වුවද ඇඳුමෙහි වෙනසක් දක්නට ලැබේ. ගෙතුළ වුවද පිටත වුවද කිසිදින ඔවුන් හිස් ආවරණය කරගන්නේ නැත. එනිසා බොහෝ පෙරදිග කාන්තාවන්ගේ ඇඳුමින් ඔවුන් වෙනස් වේ. සාමාන්‍ය දිනවල කපු පිළී සහ ඇට මාලයක් අඳිනා ඔවුන් විශේෂ උත්සව අවස්ථාවලදී වටිනා සිල්ක් රෙද්දකින් හෝ රන් පැහැයෙන් එම්බ්‍රොයිඩර් වැඩ දැමූ මස්ලින් රෙද්දෙන් සැරසී රන් මාලයකින් සහ රතුකැට පෙන්ඩනයනයන් සහිත මුතු හෝ පබළු මාලයන් පළඳී. එකම එක කොණ්ඩ කට්ටක් හිසෙහි ගසයි. එය අරුමෝසම් වැඩ දැමූ එකකි. රන් වළලු මහා විශාල ප්‍රමාණයක් අතෙහි පළඳී."

The picture enclosed gives some idea of the entrance to the house . It was taken two or three years ago ; but all the children represented in it are still with us , and so is also the dog !

Miss W. Malden, INDIA'S WOMEN AND CHINA'S DAUGHTERS, 1900 January



එම වාර්තාවනට අනුව ඉරිදාවන් යනු සාමාන්‍ය පාසල් දිනයක් නොවූවත් බොහෝ කාර්යබහුල එමෙන්ම ප්‍රීතිදායක දිනයන් බව පැවසෙනවා. බයිබල් පාඨ කියමින් ගීතිකා ගැයන පල්ලියන ඉරිදා පාසලක් බවට හිල්වුඩය එදින පත්වෙනවා. ආගමික අධ්‍යාපන කටයුතු සහ දේව මෙහෙයන් වලින්ද, එමෙන්ම ගායනාවන්ගෙන්ද එදින දවස ගත වෙනවා. හවස්යාමේ ගීතිකා ගායනාවලින් අනතුරුව හිල්වුඩ් පවුල සතුටු සාමිචියේ යෙදී යාඥාවන් සිදු කරනවා.
1912දී 'ඇනෙක්සිය' නම් ඈතින් වෙන්වූ ගොඩනැගිල්ල ඉදිකරන්නේ වසංගත රෝගයන්හීදී භාවිතයට ගැනීමටයි. මේ වනවිට හිල්වුඩය ඉංග්‍රීසි උසස් පාසලක් ලෙස ලියාපදිංචි වී ඇති බැවින් රජය විසින් සියළුම විෂයන් සඳහා වාර්ෂිකව පවත්වන විභාග සඳහා සහභාගී වීමට සිසුවියන් හට සිදුවනවා. ජ්‍යේෂ්ඨය සමත්වූ ඇතැමුන් කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ කේම්බ්‍රිජ් විභාග සඳහා පෙනී සිටින්නට සූදානම් වෙනවා. නමුත් මේ සියල්ලටම පදනම වන්නේ බයිබලය උගැන්මයි. බයිබලය මතකයෙන් කියන්නට හැකි වන පරිදි වැඩිමහල් සිසුවියන් ක්‍රිස්තියානි දහම පිළිබඳ අධ්‍යාපනයක් ලබනවා. ක්‍රිස්තියානි මිශනාරි සමාජයේ දේවගැතියන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන විභාගයේදී ඔවුන්ගේ බයිබල් පාඨ පිළිබඳ මතකයත් ඒ පිළිබඳ දැනුමත් උරගා බලනවා. ක්‍රිස්තියානි දහම වැළඳගත් ආදි සිසුවියන් හට පාසලේ ඉගැන්වීමේ වරම උදාවනවා. එනයින් බිළිඳු ඒකකයක්ද පාසලේ ගොඩනැගෙනවා.
බෝඩිං පහසුකම් ලබා නොගෙන එදිනෙදා පාසලට විත්, අධ්‍යාපනය ලබාගත හැකි සිසුවියන් මුල්වරට බඳවාගනු ලබන්නේ 1913දී. 1915දී විද්‍යාගාර පහසුකම් ලැබෙන අතර එම වර්ෂයේදී පළමු 'මිඩල්වුඩ්' ආදි සිසුවා ත්‍රිත්ව විද්‍යාලය හා එක් වනවා. 1916දී පංතිකාමර කිහිපයක්ද 'ඇනෙක්සිය' ඒකාබද්ධකොට ආවරණය වූ මාවතක්ද ඉදිවනවා. මුල් වරට පාසලේ සියලු ඉලක්කයන් මල්ඵල ගන්වමින්, සියලුම විභාගයන් ගෙන සමත්වී හිල්වුඩයෙන් පිටවූ බෞතීස්ම ලබා නිසි ආකාරව කිතුදහම වැළඳගත් සිසුවියක් ක්‍රිස්තියානු ලබ්ධිකයෙකු හා විවාහපත් වෙන්නේ එම වර්ෂයෙයි. බොහෝ සිසුවියන් පාසලට ඇතුළත් වීමට පෙර දෙමව්පියන්ගේ අවසරය පරිදි බෞතීස්ම වී නියමාකාරයෙන් කිතු දහම වැළඳගත් අතර සමහරුන් පාසල් කාලය අතරතුරදී එය සිදු කළා. නමුදු බොහෝ දෙනෙක් පාසලෙන් පිටවී ගිය පසු පවුලේ බලපෑමක් සහිතව හෝ රහිතව කිතු දහම අතහැර දේශීයත්වය අගයකොට යළි බෞද්ධ පරිසරයක් කරා එළඹියා.

Miss. Lena Augusta Chapman


1930 වනවිට පාසලේ සිසු සංඛ්‍යාව 170ක් වූ බවත් වයස අවුරුදු 17 හෝ 18 දක්වා ඔවුන් පාසලේ අධ්‍යාපනය ලැබූ බවත් සඳහන්. ඉන් අඩක්ම බෞද්ධ දැරියන් වුවත් ඔවුන් මහත් කැමැත්තකින් කිතු ආගමික කටයුතු සඳහා සහභාගී වූවා. රුවෙන් ගුණෙන් සපිරි එම උඩරට දැරියන්, බටහිර දැරියන් සේම ක්‍රීඩාවෙන් සහ පොතපත දැනුමෙන් යන දෙකෙන්ම කරට කර සිටි බව වාර්තාවෙනවා. මෙම වර්ධනය වන ශිෂ්‍යාවන් සංඛ්‍යාව හමුවේ හාත්පස කඳුවැටිය කපා පුරවා සමතලා කොට තව තවත් ගොඩනැගිලි ඉදිකරන්නට සිදුවනවා. වර්තමානයේ ඒ අසල නාය යෑමේ තර්ජනයට ලක්ව ඇත්තේ ඒ නිසාවෙන්. පාසල ආරම්භයේදී, ලංකාවේ බෞද්ධ සංස්කෘතියත්, කාන්තා අධ්‍යාපනයට හිමි තැනත් පිළිබඳ දැන සිටි බොහෝ බටහිරයන්ගේ මතය වූයේ පාසල අසාර්ථක වනු ඇති බවයි. රදළ බෞද්ධ දෙමව්පියන් තම සියලු සම්මත සිරිතට විරිතට පිටුපා තම රාජකීය ලේ ඇති දරුපරපුර විදේශීය සහ ක්‍රිස්තියානි ආභාෂයකට විවෘත කරයිද?, ඔවුන් විමසූ පැනය වුණා. නමුත් සියළු මතයන් බිඳ හෙළමින්, සාර්ථක ගමනක් යමින්, දෙවන ලෝක යුද සමයේදී කොළඹ බාලිකා පාසල් වලට පවා උදව්වක් වෙමින්, අද දක්වාද හිල්වුඩය මහනුවර පුරවරය බබළවමින් යෙහෙන් වැජඹී සිටියි.

The Covered Way, Hillwood



Ref :
- One Hundred Years in Ceylon or The Centenary Volume of the Church Missionary Society in Ceylon 1818-1918, Rev. J. W. Balding, C.M.S. 1922
- Until the Shadows Flee Away. The Story of C.E.Z.M.S. Work in India and Ceylon. 1912
- Proceedings of the Church Missionary Society
For Africa and the East,. 1901-1902
- The Church of England Zenana Missionary Society, Jubilee Souvenir 1880 - 1930
- Ladies Home Journal- USA, 1926 December
- India's Women and China's Daughters, 1899 March, 1900 January
- India's Woman, The Magazine of the Church of England Zenana Missionary Society, Volume XIV, 1894

Comments