ජර්මනියෙන් පොල්හේන්ගොඩ ආ සොඳුරු Documentryවේදියා - Paul Zils

විසිවන විය නොයික්මවූ එක්තරා තරුණ ජර්මානු කොලු ගැටයෙකු එකල ජර්මනියේ දැවැන්ත චිත්‍රපට-නිශ්පාදන සමාගමක් වූ UFA චිත්‍රාගාරය කරා පියනගන්නේ ආධුනිකයෙකු ලෙස ඊට බැඳෙන චේතනාවෙන්. ඒ හිට්ලර්ගේ පාලන සමය ඇරඹුනු 1933 අවුරුද්ද. 

Paul Zils [ Image Credits: The Indian Documentary: Post Independence Era Till 2000 - Upperstall.com]

කඩවසම් පෙනුමත් පිරිසිඳු ආර්ය පසුබිමත් නිසා  වසර කිහිපයක් ගතවීමට මත්තෙන් නට්සි හිට්ලර්ගේ ප්‍රචාරණ අමාත්‍ය  Joseph Goebbelsගේ අතිශය ප්‍රියතමයෙකු බවට පත්වන්නට ඔහුට හැකි වෙනවා. UFA චිත්‍රාගාරය මේ වන විට ගොබෙල්ස්ගේ ප්‍රචාරණ යාන්ත්‍රණයේ කදිම තෝතැන්නක්. නමුත් සංවේදි සිත් ඇති අනෙකුත් ජර්මානු නිර්මාණකරුවන් මෙන් ඔහුද 1937දී ජර්මනිය එපා කියා දමා යන්නේ යන්නේ හොලිවුඩයේ ආශ්වාදය විඳීමට. පලා යෑමට තරම් ඔහු යුදෙව්වෙකු නොවේ. නට්සි පාලනයේ උපරිම පහස විඳින්නට ඔහුට හැකියාව තිබුණා. මේ වන විට ඔහු සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසට චිත්‍රපට තුනක කටයුතු කොට පරිණත වූවෙක්. එහෙත් ඔහු හර්මන් හෙස නම් ජර්මන් ජාතික විශිෂ්ට ලේඛකයා විසින් රචිත සිද්ධාර්ථ කෘතිය කියවා තිබූ අයෙක්. ඉතින් කෙලෙස නම් තව දුරටත්  දුර්දාන්ත පාලනයක් කරා ඇදෙන ජර්මනියේ රැඳී සිටින්නද?

Young Paul Zils [Image Credits - Courier: Publication UNESCO, 1950 June 1]

ඇමරිකාවේ දිවි ගතකරන සමයේ පැරමවුන්ට් චිත්‍රාගාරය ඔහුට අරමුදල් ලබා දෙන්නෙ ඉන්දුනීසියාව පසුබිම් වූ Lambon චිත්‍රපටය වෙනුවෙන්. එහි රූගත කිරීම් සඳහා එවකට ඕලන්ද බලප්‍රදේශයක්ව පැවතුණු ඉන්දුනීසියාවේ බාලි නගරය කරා ඔහුට එන්නට සිදු වනවා. මේ 1940 අවුරුද්ද - දෙවන ලෝක යුද්ධය ඇරඹී අවසන්. ඉතින් මේ ඉන්දුනීසියානු ගමන ඔහුගේ ජීවිතයේ සැබෑ හැරවුම් ලක්ෂ්‍යක් වනවා. ඒ ජර්මනිය ඕලන්දය ආක්‍රමණය කරන්නට පටන් ගන්නා විට අත් අඩංගුවට ලක්වී සුමාත්‍රා දිවයිනේ කැළෑවක සිරබත් කන්නට සිදුවීම නිසා නම් නොවෙයි. ඒ, ඉන්දියානු වාර්තා චිත්‍රපට නිර්මාණකරණයේ පෙරගමන්කරුවෙකු ලෙස සම්භාවනාවට පාත්‍රවන්නට නිමිත්ත පහළ වන්නේ මේ සිදුවීම හේතුකොටගෙන නිසා.

ජපනුන් ඉන්දුනීසියාව ආක්‍රමණය කරන්නට පටන් ගන්නට පෙර ඉන්දුනීසියාවේ සියලු යුධ සිරකරුවන් ඉන්දියාව වෙත පටවා යැවෙනවා. ඉන් වසර හතරක් පුරාවටම ඔහු ඉන්දියාව දකින්නේ Deolali යුධ සිර කඳවුරේ කටු කම්බි ඇතිරූ වැටට පිටුපසින්. මෙම සිර කඳවුරේ සිටියදී ඔහුට ඉතා අපූරු හිතවතෙකු මුණ ගැසෙනවා. ඒ ජර්මානු බෞද්ධ ශාස්ත්‍රඥයෙකු වූ ලාමා අනගාරික ගෝවින්දයන්. මේ මුණගැසීම පසු කලෙක ඔහු කල නිර්මාණ 2ක් සඳහා සිදුකරන්නේ මහත් බලපෑමක්. අනගාරික ගෝවින්දයන්ට අමතරව මෙම සිර කඳවුරේ සංගීතඥයන් සහ සංගීත රචකයන් ගණනාවක් රැඳිවියන් වුණා. ඒ අනුව ඔහු කඳවුර තුල සංගීත සංදර්ශන සංවිධානය කිරීමට පටන් ගත්තේ ඔහුගේ සුපුරුදු නිර්මාණාත්මක කලා අධ්‍යක්ෂන හැකියාව ඔප් නංවමින්. ඔහුගේ නිර්මාණ හැකියාවත් අනෙකුත් ජර්මානු නිර්මාණකරුවන් මෙන් නොව චතුර ලෙස ඉංග්‍රීසි බස මෙහෙයවීමත් නිසා අමන්දානන්දයට පත්වන බ්‍රිතාන්‍යයන්, 1945 යුද්ධය නිමවීමෙන් පසු ඔහුට Information Films of India (IFI) සමඟ එක්වන මෙන් ආරාධනය කරනවා. ආරාධනය පිළිගෙන ඔහු බොම්බායේ ලැගුම් ගන්නේ IFIහි බාහිර අංශ ප්‍රධානි ලෙස බ්‍රිතාන්‍ය-ඉන්දියානු රජය විසින් අත්සන් යෙදූ කොන්ත්‍රාත්තුවත් අතැතිවයි. ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු IFI ආයතනය වසා දැමෙන අතර ඔහුගේ බොහෝ මිතුරන් ගම් බිම් බලා පිටව ගියත් ඔහු ඉන්දියාව හැර දමා යන්නේ නැහැ.

Paul Zils with Indian crew - Cameramen PV Pathy with Paul Zils [Image Credits: Film Heritage Foundation - India]

Paul Zils නම් සොඳුරු වාර්තා චිත්‍රපටවේදියා බිහිවන්නේ එතැන් පටන්...

දශක දෙකකට ආසන්න කාලයක් පෝල් සිල්ස් ඉන්දියාව තම නිවහන කරගන්නා අතර නිර්මාණය කල වාර්තා චිත්‍රපට සංඛ්‍යාව 70කට අධිකයි. එයට අමතරව ඉන්දියානු වෘතාන්ත චිත්‍රපට 3ක්ද වනවා. ඉන්දියානු ආලය මහත් බලවත් වීමෙන් ඔහු ඉන්දියානු පුරවැසිභාවය පවා ලබාගන්නවා. නමුත් ලංකාවේ වාසනාවකට ඉන්දියානු ආලය කෙළවර වී 1959දී ඔහු ජර්මනිය බලා නැව් නගින්නේ Deutsche Condor Film (Munich) සහ Erlangen Film Institute යන සිනමා ආයතන සමඟ සම්බන්ධ වී ජර්මන් නිර්මාණ කිහිපයකට තම දායකත්වය ලබා දෙන්නට. එසේ යන ඔහු 1963 වර්ෂයේ වැදගත් නිර්මාණයකට අත ගැසීමට ලංකාව බලා එනවා. 

Paul Zils and Indian Crew - Zils shooting a documentary film, Fali Bilimoria on camera and the assistant Sukhdev (waving a hand), who later joined the Films Division, 1955 [Image Credits - Paul Zils | METROMOD]


Buddhismus in Ceylon (1963)

The Institute for Film and Image in Science and Education (FWU) යනු ජර්මානු පාසල් භාවිතය සඳහා ඡායාරූප සහ වීඩියෝ දර්ශන නිපදවන මියුනිච් නගරයේ පිහිටි ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක්. ජර්මන් දරුවන් වෙත බුදුදහම හඳුන්වාදීම උදෙසා ඔවුනට කෙටි චිත්‍රපටයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ කටයුත්ත පැවරෙන්නේ පෝල් සිල්ස්ගේ Deutsche Condor Film ආයතනයට. බුදු දහම හදාරන්නට නම් සිලෝනය තරම් වෙනත් රටක් කොයින්ද? ඉන්දියානු අත්දැකීම් ඇති පෝල් සිල්ස් ලංකාව බලා එන්නේ මේ අනුවයි. ඔහු තනන Buddhismus in Ceylon විනාඩි 21ක ධාවන කාලයකින් යුතු, වර්ණිත, ජර්මන් බසින් වර නැගෙන, 16mm, කෙටි වාර්තා චිත්‍රපටයක්. එහි රචනය සඳහා රෙජී සිරිවර්ධනයන්ද සම්බන්ධ වනවා. ඔහුගේ වාර්තාව කොටස් 4කින් යුක්තයි.

1. බෞද්ධ ජීවිතයේ සංසිද්ධි (බෝධි වන්දනාව -අනුරාධපුරය සහ කලුතර , වෙසක් උත්සවය, අවමංගල්‍ය උත්සවය)

2. බෞද්ධයන්ගේ ඇදහිල්ලේ දුර්වලතා (දෛව කීම, වෙනත් ආගම්වල පිහිට යැදීම, යක් නැටුම්)

3. බෞද්ධ භික්ෂුව (උපසම්පදාකර්මය - මහනුවර)

4. බෞද්ධ විශ්වාසයේ අරමුණ (භාවනාව - පොළොන්නරුව, -කැළණිය)

මෙම කොටස් එකිනෙකින් වෙන්වන්නට කොළඹ වීදි දර්ශන, දර්ශනීය කෙත්වතු, ධීවර කර්මාන්තයේ දර්ශන අඩංගු වනවා. ඇත්තෙන්ම එය අතීතකාමින් හට මනරම් නිර්මාණයක් වනවා නොඅනුමානයි.



රජයේ චිත්‍රපට අංශය (GFU - Government Film Unit)

Buddhismus in Ceylon නිර්මාණකරු දෙස ඇස කවා බලාසිටින්නේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක වූ සරත් අමුණුගම ඇතුළු පොල්හේන්ගොඩ පිහිටි රජයේ චිත්‍රපට අංශයයි. 1960 ගණන් අගභාගය වන විට GFUහි නිර්මාණාත්මක ගුණය ලොප් වීම හේතුකොට ගෙන ඊට පිළියමක් වශයෙන් එය ප්‍රතිව්‍යුහගතකොට නවීකරණය කිරීම සඳහා පෝල් සිල්ස් ඒ වෙත උපදේශකයෙකු ලෙසින් 1968 වර්ෂයේදි බඳවා ගැනෙනවා. ඔහු එන්නේ තනිව නොවේ. ඔහු එන්නේ බටහිර ජර්මන් ආධාර ප්‍රදානයක් ලෙස ශබ්ද පරිපාලනය සහ සංස්කරණය සඳහා වූ නවීන ස්ටීන්බැක් යන්ත්‍රද සමඟින්. 

Paul Zils and Indian Crew - Fali Billimoria and Paul Zils [Image Credits -The indian documentary (3) (unive.it)]

මෙම බඳවා ගැනීම සිංහල සිනමාවට මහත් ආශිර්වාදයක්. ඒ මක් නිසාද යත්, සිංහල චිත්‍රපට නිර්මාණකරනයේ පතාකයන් මෙන් පසුකාලිනව හඳුනන බොහොමයක් දෙනාගේ ගුරුවරයා වන්නේ පෝල් සිල්ස්. ඒ නම් අතර තිස්ස අබේසේකර, තිස්ස ලියනසූරිය, ඇම් ඩී මහින්දපාල ප්‍රධාන වනවා. ලෙස්ටර් ජේම්ස් පීරිසුන් හට GFUහි රැල්ෆ් කීන් ගුරු වන්නේ යම් සේද, තිස්ස අබේසේකරයන් හට ගුරු වන්නේ GFUහි පෝල් සිල්ස්. "පෝල් මගේ ගුරුවරයා. ඔහුගෙන් මම සංකල්පයේ සිට තිරය දක්වා චිත්‍රපටයක් ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරන්නේ කෙසේදැයි ඉගෙන ගත්තා. මගේ චිත්‍රපට ඕනෑවට වඩා ආඛ්‍යාන පැත්තට බරයි. පෝල් මට එයට එරෙහිව අවවාද කලා." යැයි තිස්ස අබේසේකර පවසා තිබෙනවා.

Pauls Zils (left) with Sri Lankan Crew - Cinematography: Keerthi Sri Perera and Unit Manager: Nissanka Jinadasa at the shooting of "Training for Progress"


පෝල් සහ තිස්ස ගැන ඈෂ්ලි රත්නවිභූෂණ පවසන්නේ මෙවැන්නක්.

"පෝල් සිල්ස්ගේ බොහොමයක් වාර්තා චිත්‍රපට වෘතාන්ත ස්වරූපයකට මඳක් නැඹුරු කළේය. රජයේ චිත්‍රපට අංශය සඳහා ඔහු තැනූ චිත්‍රපට අතරින් යම් ප්‍රමාණයක් හෝ අගය කළ හැක්කේ 'කාලයක කතාවක්' (Time and the Nation) සහ ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයට තැනූ 'ප්‍රගතියට පුහුණුවක්' (Training for Progress) පමණී. ඔහු යුරෝපයේ ප්‍රකට වාර්තා සිනමාකරුවෙකු වුවද, අප ලාංකේය වාර්තා සිනමාකරුවන්  නිර්මාණය කර තිබූ කෘතීන් නිර්මාණාත්මකව අභිබවන්නට අපොහොසත් වූයේය. ඔහුගේ For a Better Tomorrow නැමැති කෘතිය සංවර්ධන කටයුතු අළලා නිර්මාණය කළ අතිශයින්ම අසාර්ථක වාර්තා චිත්‍රපටයක් විය. පෝල් සිල්ස් ඔහුගේ බොහොමයක් චිත්‍රපටවලට කෙටි වෘතාන්තයක් ඇතුළත් කළේය. 1972දී චිත්‍රපට අංශයට එක්වූ තිස්ස අබේසේකර ද පෝල් සිල්ස් ගත් මඟ තරමක් දුරට අනුගමනය කරමින් අර්ධ වෘතාන්තමය ලක්ෂණ සහිත වාර්තා චිත්‍රපට කිහිපයක් නිර්මාණය කළේය."

නමුත් පෝල් සිල්ස්ගේ "භාවනා" (Meditation), "අස්වැන්න" (Harvest 1971), "කාලය සහ ජනතාව" (Time and the Nation), කීර්ති ශ්‍රී පෙරේරා සහ සනත් ලියනගේ කැමරාකරණය කළ "මිටියාවතක ගම්මානයක්", රූපමය ගුණාත්මකභාවය මනාව පිළිබිඹු කළ රජයේ චිත්‍රපට අතර කැපී පෙනෙන බව සඳහන් කරන්නේ ඇම්. ඩී. මහින්දපාලයන්.

පෝල් සිල්ස්ගේ මතය වූයේ ඉන්දියාවේ Films Division of Indiaහි මෙන් ප්‍රධාන නිෂ්පාදක තනතුරක් GFUහි තිබිය යුතු බවයි. මෙම මතය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පාලකයින් ක්‍රියාවට නැංවූ අතර එනයින් රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂ තනතුර ප්‍රධාන නිෂ්පාදක තනතුර ලෙස වෙනස් කරන්නට කටයුතු යෙදෙනවා. මෙම තීරණය එවකට රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂ ලෙස සිටි ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි මහතා සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අතර ගැටුමකටද හේතුපාදක වූ කාරණයක්. පෝල් සිල්ස් විසින් රජයේ චිත්‍රපට අංශයේ වෙන් වෙන් වශයෙන් ඒකක 4ක් පිහිටුවනු ලැබූ අතර ඒවා වාර්තා ඒකක (Documentry Unit) 1,2,3,4 වශයෙන් නම් වුණා. ඔහු ඒ හැම ඒකකයකටම චිත්‍රපට රූගත කිරීම සඳහා අවැසි වූ සෑම උපාංගයක්ම සවි කළ සිනමා රථය බැගින් ලබාදෙන්නට කටයුතු කළා.


Meditation - භාවනා (1968)

ඔහු GFU වෙත කරන පළමු නිර්මාණය වනුයේ භාවනා. එය ජීවිතය අවලෝකනය කරනා වෛද්‍යවරයෙකුගේ වාර්තාමය ප්‍රබන්ධයක්. විනාඩි 25ක ධාවන කාලයකින් යුතු, 35mm, වර්ණිත, කෙටි චිත්‍රපටයක්. එහි රචනයත් සිදු වන්නේ රෙජී සිරිවර්ධනයන් අතින්. ඩ්බ්. ඩී. අමරදේව සංගීතයෙන්ද, දෙබස් තිස්ස ලියනසූරිය අතින්ද නිම වෙනවා. කථනය හෙන්රි ජයසේනයන්ගෙන්. කැමරාකරණය විමල් පෙරේරා, සංස්කරණය තුවන් ඒ. කමූර්, ඒකක කළමණාකරු වික්‍රමපාල අල්විස්, ශබ්ද පරිපාලනය දයා ද සිල්වා සහ ගාමිණි සෙඳනායක. (Processed at Arthur Rank Studio, UK)

සිරිපා කරුණාව වීඩියෝ දර්ශන පෙළක් ලෙසින් මා දකින දෙවන පැරණිතම අවස්ථාව එහි අන්තර්ගතයි. 60දශකයේ සිරිපා කරුණා කල ඇත්තවුන්ට නොස්ටැල්ජියාවට යමක් එකතු කරන්නට එයට හැකි වේවි. 



ඉතින් ඔබ ඩග්ලස් රණසිංහයන් මෙතරම් හැන්ඩිවට දැක තිබේද? භාවනා ඔහු සම්න්ධවන තෙවන නිර්මාණය. නිල නොවන මට්ටමින් එහි සහය අධ්‍යක්ෂණ කාර්යයෙහිද යෙදුන බව ඔහු පවසා තිබෙනවා. ඉන්පසු ඔහු එංගලන්තයේ London International Film Schoolහි අධ්‍යාපනය හැදෑරීමට යන්නේ පෝල් සීල්ස්ගේ උපදෙස් මත. ඩග්ලස් රණසිංහ කියනා පරිදි පොල් සිල්ස්ගේ සිතෙහි ලංකාවේ සිනමා සහ නාට්‍ය පාසලක් ආරම්භ කිරීමේ අදහසක් තිබී තිබෙනවා. නමුත් ලංකාවේ අවාසනාවකට එය යථාර්තයක් වී නැහැ.

කාලය පිළිබඳ කතාවක් - Time and the Nation (1970) 

GFUහි උපදේශක කොන්ත්‍රාත්තුව හමාර වුවද වසර කිහිපයක් යනතුරු ඔහු වාසය කරන්නේ ලංකාවේ. මේ අතරේ GFU ආරාධනයෙන් ඔහු තවත් වාර්තාමය චිත්‍රපට නිර්මාණය කරනු ලබනවා. ඉන් එකක් වන Time and the Nation අන්තර්ජාලයේ නොමැති බැවින් කතාව කුමක්දැයි කියන්නට මට හැකියාවක් නැහැ. නමුත් නමේ හැටියට ඇතිවන්නේ ප්‍රචාරණ (propaganda) චිත්‍රපට යැයි හැඟීමක්. GFU Sri Lanka යූ ටියුබ් නාලිකාව අතීතකාමීන් ඇවිස්සීමට දැන් ඉතා සක්‍රීය බැවින් නොබෝදුරකදී සාමන්‍ය ප්‍රේක්ෂකයා හට එය දැක බලා ගැනීමේ හැකියාව ලැබේ යැයි සිතේ කොණක පොඩි බලාපොරොත්තුවක් තිබෙනවා. වාර්තා වලට අනුව එහි ඇත්තේ ජාතියක සංවර්ධනයේ හෝ ප්‍රගතියේ ප්‍රමාදය සාකච්ඡාවට බඳුන් කිරීමක්. එයද භාවනා මෙන් වාර්තාමය නාටකීය ස්වරූපයක් ගනු ලබනවා. එහි රංගනයෙන් දායක වනු ලබන්නේ ප්‍රවීණ රංගධර උපාලි අත්තනායක. එය විනාඩි 20ක ධාවන කාලයකින් යුතු, 35mm, වර්ණිත, කෙටි චිත්‍රපටයක්. එහි රචනය සිදු වන්නේ තිස්ස අබේසේකර අතින්. ප්‍රේමසිරි කේමදාස සංගීතයෙන්ද, කථනය එච්. ඇම්. ගුණසේකර අතින්ද නිම වෙනවා. එහි කැමරාකරණයත් විමල් පෙරේරාගෙන්. සංස්කරණ ශිල්පියා වනුයේ වින්සන්ට් ඩේවිඩ්.

හෙට අලුත් දවසක් - For a Better Tomorrow (1975)

For a Better Tommorrowහි ඇත්තේ මල්වින්න නමැති කල්පිත ධීවර සහ කෘෂි ගම්මානය වටා දිවෙන ග්‍රාම සංවර්ධනය අරමුණු කරගත් කතාවක්. ගමෙහි අභිවෘද්ධිය වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරන එක්තරා කල්ලියක් වටා එය නාභිගත වනවා. එය විනාඩි 20ක ධාවන කාලයකින් යුතු, 35mm, කළු සුදු, කෙටි චිත්‍රපටයක්. එහි තිර රචනය තිස්ස අබේසේකරයන්ගේ වන අතර සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ. කථනය සිදු කරන්නේ එවකට ගුවන් විදුලි ඉංග්‍රීසි අංශයේ වැඩකළ ජිමී බරුෂා විසින්. නමුත් එය මුළුමනින්ම සිංහල බසින් වර නැගෙන්නක්. නළුවෙකු මෙන්ම සිනමා පුවත් වාර්තාකරුවෙකු වූ ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර මහතාද මෙහි වාර්තාකරුවෙකුගේ චරිතයකින් දක්නට පුළුවන්. කැමරාකරණය කීර්ති ශ්‍රී පෙරේරා; සංස්කරණය තුවන් ඒ. කමූර්; ශබ්ද පරිපාලනය දයාද සිල්වා සහ මයිකල් සත්‍යනාදන්; රසායනාගාර අංශය ඩෙන්සිල් ද සිල්වා, වී. රූපසිංහ, එස්. පී. මුත්තයියා සහ නිමල් අර්ථනායක; ඒකක කළමණාකරු නිශ්ශංක ජිනදාස.



මේ ඔහුගේ අවසන් නිර්මාණ කිහිපය. සිරෝසිස් රෝගය හේතුවෙන් ඔහු යළි ජර්මනිය බලා පිටත් වෙනවා. ඉන් කෙටි කලකට පසු 1979 වර්ෂයේ මියුනිච් නගරයේදී ඔහු මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 63ක්.

Paul Zils in India - Vijay Mulay and film director Paul Zils [Image Credits:Vijaya Mulay 1 (ejumpcut.org)]

මූලාශ්‍ර:

Paul Zils and the Indian Documentary, Amrit Gangar, Goethe Institut, Mumbai, 2003, pp 17-20, "Paul Zils in Sri lanka" by Tissa Abeysekara

Paul Zils and the Indian Documentary, Amrit Gangar, Goethe Institut, Mumbai, 2003, pp 9-10, "A Documentarist" by Lester James Peries

ප්‍රතිබැහැදැක්ම- රජයේ චිත්‍රපට අංශයේ ප්‍රභවය, වර්ධනය සහ එහි අස්වැන්න ලෝක වාර්තා චිත්‍රපට කලාව සමඟ විමසන ලේඛන සංග්‍රහය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, 2012 අගෝස්තු


Comments

Popular Posts