Sri Wickrama Rajasinghe, Last King of Kandyan Kingdom

දකුණු ඉන්දියානු නායක්කර් වංශිකයෙකු වූ ඔහු 1978දී සිංහලේ ඔටුනු පළඳින්නට පෙර නම් ගත්තේ කන්නසාමි කුමාරයා වශයෙනි.

ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහලේ අවසන් රජු

කන්ද උඩරට මහනුවර පුරවරයේ වසර 17ක් ඔහු රජකම් දරනා අවදියේ ඉංග්‍රීසීහු තම බලයේ ආධිපත්‍යය පහතරට ප්‍රදේශයන්හී පතුරවමින් සිටින්නට වූහ. ඒ අතරම තව තවත් රට මධ්‍යයට කාවැදෙන්නට උරගා බලද්දී ඔවුනට වාසනාව ගෙන එන්නේ රජු හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය අතර ඇතිවන විරසකයයි. ඒ අනුව කන්ද උඩරටට කණ කොකා හැඬලීම ඇරඹෙන්නේ ඇහැළේපොළ අදිකාරම ඉංග්‍රීසි කඳවුර හා එක්වන්නට කරුණු කාරණා සම්පාදනය වීමත් සමඟමය. හමා එන කුණාටුවේ දරුණු බව ඉවෙන් මෙන් වටහා ගන්නා රජු, දුම්බර බලා තම බිසෝවරු දෙදෙන සමඟ පැන යන්නෙ ආරක්ෂාව පතාය. සැතපෙනගේ රාජකාරි කළ සැතපෙනගේ අප්පුහාමිගේ රැකවල් මැද, නිවසක ඔවුහු සැඟවී සිටියහ. මේ අතරේ සිංහල රදලයන්ගේ සහය මැද අලුත්ගංතොටදී මහවැලි ගඟ තරණය කොට මැදමහනුවරින් මයිලයකින් පමණ එපිට ඉංග්‍රීසිහු කඳවුරු ලාගත්හ.

500 සෙබළුන් සමඟ එක් සන්ධ්‍යාවක එක්නැලිගොඩ මොහොට්ටාල අහල පහළ රජු වෙසෙනා බව කිසිත් නොදැන ගම් වැද සංචාරයේ යෙදෙද්දී ඔවුන් දැක බියවී දුවනා වයස අවුරුදු දොළහක පමණ කොලුගැටයෙකු අල්ලා ගන්නා ලදී. මර බයෙන් සලිත වූ ඔහු මොර දෙන්නට වූයේ "මා අතහැරපල්ලා, දෙයියන් වහන්සේ සිටිනා තැන පෙන්වන්නම්" යනුවෙනි. මේ බස් අසා මහත් සතුටු වූ එක්නැලිගොඩ, අසබඩ වූ කඳු ගැටයක පිහිටි නුග ගසක් සලකුණු කොටගත් කොලුවා පෙන්වන මඟ ඔස්සේ තම සෙබළ කණ්ඩායම සමඟ ඉදිරියට ඇදෙන්නට වුණි. කෙමෙන් කෙමෙන් අදාළ ස්ථානය කරා එළඹීගන්නට හැකි වූ ඔහුට එක්වනම දක්නට ලැබුණේ වලව්ව ඉදිරිපිට රැකවල් ලා සිටින සැතපෙනගේ අප්පුහාමිය. එක්නැලිගොඩ දැක විස්මයට පත්වන අප්පුහාමි, රජුගේ කාලය අහවර වී ඇති වග මෙනෙහි කරමින් මහත් එඩි ගෙන අවසන් ප්‍රයත්නය ලෙසින් බලවත් හඬකින් “කොයිබ යන්නේ එක්නැලිගොඩ?" යනුවෙන් විමසුවේය. "අපි ආවෙත් මෙහෙ තමා," යනුවෙන් එක්නැලිගොඩ පිළිවදන් දුන් කල්හී, "එහෙනන් මේකත් ගනින්," යැයි රජුට මහත් ගැති වූ නිර්භීත සේවකයා තම හෙල්ලය මුවෙන් පිටවූ වදනෙහි වේගයෙන්ම එක්නැලිගොඩ කරා එල්ල කළේය. අහෝ ඛේදයකි! හෙල්ලයෙහි පහර වැරදුණි. එය බිම වැදී දෙකට කැඩී වැටුණි. සෙබළුන් විසින් ඔහු අල්වා ගන්නා ලදී. එකෙණෙහිම ඔහුට අත්වූයේ ඛේදනීය මරණයකි. රජු සිටි නිවසේ දොර කඩා විවෘත කොට රජු සහ බිසෝවරු ජීවග්‍රහණයෙන් අල්ලා ගන්නා ලදී. උලමා හැඬූ එම රාත්‍රිය 1815 පෙබරවාරි 18 දිනයයි. එනයින් බ්‍රිතාන්‍යයන් තමන් මුළු රටම සතු කරගත් බවට කියා පෑමට මේ සිදුවීමට පසු වැඩි දවසක් ගත්තේ නැත. ඡායාරූපයේ දැක්වෙන බෝමුරේ ස්මාරකය සමඟ සිටගෙන සිටින ආරච්චි මහතා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ යටහත් පහත් සේවක වූ සැතපෙනගේ අප්පුහාමිගේ මුනුබුරෙකු වේ.

Bomure Pillar
Buddhist Annual of Ceylon Vol 1. No. 1 - 1920
Printed and Published by W. E. Bastian & Co. Colombo


British Officials Deposing the tyrannical King of Kandy 1815, Ceyolon Illustrations by R Caton Woodville, The Illustrated London News, 1903 Jan 10




Comments