1948 February 4 - Ceylon Independence Day

පෙබරවාරි 4 කියන්නේ ලංකාවාසීන්ට විශේෂ දවසක්. එදාට තමයි ලාංකිකයෝ ජාතික නිදහස් දිනය සමරන්නේ.

ඉන්දියාවේ වගේ අපි මේ වැඩේට දවස් දෙකක්ම නිවාඩු ගන්නේ නැහැ.

සුද්දෝ තමන්ගේ යටත් විජිත නිදහස් කරද්දි ඔව්වා එක පාරටම නිදහස් කළේ නැහැ. ඒක කළේ පියවර දෙකකට. පළමු පියවරට තමයි ඩොමීනියන් ස්ටේටස් එක දෙනවයි කියන්නේ. ඒ කියන්නේ ජෝජ් රාජෝත්තමයා තමන්ගේ බලේ එහෙමම තියාගෙන දෙන නිදහසක් වගේ දෙයක්. අපිට ඒක ලැබුණේ 1948 පෙබරවාරි 4. ඉතින් නිදහස ලැබුණයි කිව්වට 1972 වෙනකන් මහරජා වුණේ එංගලන්තේ ජෝජ්ම තමයි. නොයෙකුත් දේශපාලන කයි කතන්දර හන්දා 1972 සුද්දන්ගෙන් පූර්ණ නිදහස ලැබිච්ච, ඒ කියන්නේ සිලෝන් ඉඳන් ශ්රී ලංකා වෙච්ච දවස සමරන එක පස්සේ කාලෙක නවතිනවා. ඒක හන්දා අපිට දැන් ඉන්දියාවේ වගේ සමරන්න දවස් දෙකක් නැහැ. ඔයාලා ෆොලෝ කරන බොලිවුඩ් නළු නිළියෝ අවුරුද්දට දෙපාරක්ම තමන්ගේ සමාජ මාධ්ය ප්රොෆයිල් එකේ එයාලගේ ජාතික කොඩිය උස්සනවා දැකලා තියනවා නේද? ඒ ඔය නිදහසේ පියවර දෙක හන්දා තමයි. ඉතින් ඩොමීනියන් තත්වය ලැබිච්ච, ඒ කියන්නේ බාගෙට නිදහස ලැබිච්ච, පෙබරවාරි 4 වෙනිදා විතරක් අපි අපේ නිදහස් දිනය විදිහට සමරනවා. කොහොම නමුත් පෙබරවාරි 4 අපි නිදහස සමරන එක අර්ථාන්විතව තාමත් ගැලපෙනවයි කියලා සමහර දෙනෙකුට හිතෙන්නත් පුළුවන්.
ඉතින් ඒ ගැන කෙසේ වෙතත් අද මේ කතා කරන්න යන්නේ 1948 පෙබරවාරි 4 කියන දවසේ ලංකාවේ තතු විත්ති බ්රිතාන්ය පුවත්පත් වාර්තා කරපු හැටි ගැන.
එංගලන්තේ ඩේලි මිරර් පුවත් පත්පත 1948 පෙබරවාරි 5වෙනිදා වාර්තා කරලා තියන විදිහට, පෙබරවාරි 4 වෙනිදා බදාදා උදේ 7.30 ඉඳන් ලංකාවට ලැබුණු ඩොමීනියන් තත්වය වෙනුවෙන් ඒ සතුට දවස් 10ක්ම ලංකාවේ ඈයෝ ප්රීති ප්රමෝදයෙන් උත්සවශ්රීයෙන් නැටුමින් වැයුමින් පෙරහැර කරමින් පන්සලේ ඝණ්ඨා නාද කරමින් සමරලා තියනවා. ආගමානුකූලව පන්සල් වල විතරක් නෙවෙයි, මුස්ලිම් සහ කතෝලික පල්ලි වලත් හින්දු කෝවිල් වලත් මේ වෙනුවෙන් උත්සව සංවිධානය වෙලා තියනවා.
පෙබරවාරි පළමුවෙනිදා, ඉරිදා, ග්ලොස්ටර් ආදිපාද සහ එම ආර්යාව මේ විශේෂ සංසිද්ධියට බ්රිතාන්ය කිරීටය නියෝජනය කරමින් ලංකාවට පැමිණෙනවා. එයා තමයි හයවෙනි ජෝජ්ගේ රජ්ජුරුවන්ගේ බාල මල්ලි. ඉතින් ඔහු අතින් ඩොමීනියන් තත්වය යටතේ ක්රියාත්මක කෙරෙන පළමු පාර්ලිමේන්තුව විවෘත කිරීමත් සිදු වෙන්නේ මේ එක්කමයි. පෙබරවාරි 4 පවත්වන්නේ බොහොම කෙටි සරල උත්සවයක් වුණාට පෙබරවාරි 10 වෙනිදා පවත්වන මේ පාර්ලිමේන්ත උත්සවය බොහොම ගරු ගාම්භීරෙට පැවැත්වෙනවා.
මේ අවස්ථාවේ අගමැති සේනානයක ප්රකාශ කරන්නේ අවුරුදු 132ක් තිස්සේ කොලනියක් විදිහට කොච්චර එදිරිවාදිකම් අප අතරේ සිදු වුණත්, බ්රිතාන්යයන්ගේ හොඳහිතට කෘතඥ වෙන බව.

Photo 1
Ceylon Gains independence: The ceremony in the assembly hall Colombo, on February 10, When the duke of Gloucester opened the new dominion parlement



1948 පෙබරවාරි 21 පළවන ලන්ඩන් ඉලස්ට්රේටඩ් පුවත්පතෙහි මෙසේ පෙබරවාරි 10 වනදා උත්සවාකාරයෙන් විවෘත වන ඩොමීනියන් පාර්ලිමේන්තුව පිළිබඳ සඳහන් වෙනවා [Photo 1]. පාර්ලිමේන්තුව කිව්වම ගොඩනැගිල්ලක් විවෘත කරපු දෙයක් නෙවෙයි මේ. අද අපි කියන පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කොහොමත් 1930 ඉඳන්ම මේ කටයුතු වෙනුවෙන් පාවිච්චියට ගැනුණු ගොඩනැගිල්ලක්. නමුත් මේ සා විශාල සෙනගකට එය ප්රමාණවත් වුණේ නැහැ.. ඒ නිසා මේ උත්සවය පැවැත්වෙන්නේ කුරුඳුවත්තේ අද ඔබ දකින නිදහස් මන්දිර පරිශ්රයේ හදපු තාවකාලික සභා ශාලාවක. ඒ කාලේ මේ භූමිය ගුවන් යානා ගාල් කරන තැනක්. ඔබට මතකනේ ලංකාවේ කෝච්චි පාර හදන්න පළවෙනි පස් පිඩැල්ල කපන්න තියපු උත්සවේට හදපු අති විශාල තාවකාලික මණ්ඩපේ ගැන අපි කලින් පාරක කිව්වා. අන්න එ වගේම දැවැන්ත වැඩක් තමයි මේකත්.

Photo 2



මේ උත්සවයට රුසියාව ඇතුළු රටවල් 25කින් නියෝජිතවරු සහභාගි වෙලා තියනවා. රාජාසන කතාවට හේතුපාඨ වන රතු සහ රන්වන් පැහැති රාජ සිංහාසනය ඉහළ වේදිකාවේ තබා ඇති අයුරු දෙවන ඡායාරූපයේ ඔබට පෙනේවි [Photo 2]. මේ තමා මහනුවර අවසන් ලංකා රජු භාවිත කළ සිංහාසනය. එකල බ්රිතාන්යයට රැගෙන ගිය මේ සිංහාසනය, 1934දී එංගලන්තයේ වින්ස්ඩර් මාළිගයෙන් පස්වන ජෝජ් රජ්ජුරුවන්ගේ ත්යාගයක් ලෙස නැවත ලංකාවට එවනවා.
මෙවෙලේ රාජාසන කථාවත්, ලංකාවාසීන් වෙත ජෝර්ජ් රාජෝත්තමයාණන් ලබාදෙන පණිවිඩයකුත් ග්ලොස්ටර් ආදිපාද අතින් කියවෙනවා. රජු විසින් අත්සන් කරනට යෙදූ ලංකා ව්යවස්ථාවේ පිටපත් තුනකුත් ලංකා ආණ්ඩුවට මෙහිදී සමරු ලෙස ඔහු අතින් පිළිගැන්වෙනවා. ඒවා අග්රාමාත්යවරයා අතටත්, කථානායකවරයා අතටත්, ඉහළ මන්ත්රණ සභාවේ (සෙනේට් සභාව) සභාපතිවරයා අතටත් පත් වෙනවා.

Photo 3


මෙතැන් ඉඳන් ආණ්ඩුකාරයෙක් කියලා කෙනෙක් නැහැ. ඩොමිනියන් තත්වය යටතේ බ්රිතාන්ය කිරීටය නියෝජනය කරන්න ඉන්නේ අග්රාණ්ඩුකාරයෙක්. ඩොමිනියන් ලංකාවේ පළමු අග්රාණ්ඩුකාරයත් සමඟ ලාංකිකයන්ගෙන් සමන්විතවුණු පළමු අග්රාමත්යවරයාත් ඔහුගේ කැබිනට් මණ්ඩලයත් පෙබරවාරි 4 වනදා දිවුරුම් දීමෙන් පසු ගත් සමූහ ඡායාරූපය 1948 පෙබරවාරි 21 පළවූ "ද' ස්පියර්" පුවත්පතින් උපුටා ගත්තක්. එහි අගවිනිසුරුත්, අග්රාණ්ඩුකාර කාර්යමණ්ඩලයේ සුදු ජාතික නිලධාරීනුත් ඔබට දැකගන්න පුළුවන් [Photo 3].

Photo 4:
The Sinhalese premier holds an independence party in Colombo



ඒ වගේම පෙබරවාරි 4 අගමැති සේනානායක නිවසේදි රාත්රී ප්රිය සම්භාෂණයකුත් මේ වෙනුවෙන් පැවැත්වෙනවා. ඔහුත් සමඟ විදේශීය ආරාධිත අමුත්තන් කිහිප දෙනෙක් පෙනී සිටින සමූහ ඡායාරූපයෙන් ඔසරියකින් සැරසී සිටින සේනානායක බිරිඳ ඔබට දැකගත හැකියි [Photo 4].



Photo 5
Colombo Clock Tower



අගමැති නිවසේ රාත්රී ප්රියසම්භාෂණය මෙසේ පැවතෙද්දි කොළඹ වෙනමම අලංකෘත පරිසරයක හැඩ ගන්නවා. කොළඹ ලයිට් හවුස් ඔරලෝසු කණුව විදුලි ආලෝකයෙන් දිදුලන්නේ පස් වන ඡායාරූපයෙන් පෙනෙන විදිහට [Photo 5]. ජනමාධ්ය ලොකුවට නොතිබිච්ච ඒ යුගයේ නව අගමැතිතුමන්ගේ සහ අග්රාණ්ඩුකාරතුමන්ගේ නිදහස් දින පණිවුඩය ගුවන්විදුලි, පුවත්පත් මාධ්ය ඔස්සේ ප්රචාරය කර හැරෙනවා.

Photo 6
New Governor general receives the prime minister



"ස්වේච්ඡා අත්හැරීම නැමැති බ්රිතාන්යයන් වපුළ බීජාංකුර සදා නොවෙනස් අන්යෝන්ය මිතුදම නැමැති මහානුභාවසම්පන්න දැවැන්ත වෘක්ෂය සේ වැඩෙනු ඇති." අගමැති පණිවිඩයේ එලෙස සඳහන් වුණා [Photo 6].

මූලාශ්
- රාජාසනයේ කථාව, සෝමසිරි වික්රමසිංහ , ලංකාදීප - දියත, 2020 පෙබරවාරි 1.
- 1948දී නිදහස සැමරූ සැටි, හර්ෂා සුගතදාස, සිළුමිණ විශේෂාංග, 2020 පෙබරවාරි 1.
- ගුවන්යානා හැඟරයක් නිදහස් අනුස්මරණ ශාලාවක් වුණු හැටි, කුසුම්සිරි විජේවර්ධන, Roar සිංහල, 2021 ජනවාරි 25
- Illustrated London News, 1948 Feb 21
- The sphere, 1948 Feb 21
- Daily Mirror, 1948 Feb 5

Comments