Henry Ward Statue of Kandy, Ceylon

දළදා මාළිගා මහ මළුවේ අද ඔබ නොදකින හෙන්රි වෝඩ් ප්‍රතිමාව



Ward Statue in Kandy, Ceylon. - Esplanade in front of the Temple of the Tooth, with view of statue of Henry George Ward. By Plate & Co.



අද කාලේ දළදා මාළිගාව වැඳ පුදා ගන්න එන සැදැහැවතෙකුට ඉදිරි දොරටුවෙන් ඇතුල් වෙලා මහ මළුවේ පාර දිගේ එද්දි ප්‍රතිමා කිහිපයක්ම හමු වෙනවා. ඒත් ඒ කාලේ නම් මේවා එකක් වත් තිබුණේ නැහැ. එහෙනම් මොනාද තිබුණේ? මේ කතා කරන්න යන්නේ මීට සියවසකට කලියෙන් දළදා වදින්න ගිය අපේ කිරි කෑ මුත්තලාගේ නෙත ගැටුණු දෙයක් ගැන කතා කරන්න.
මහමළුව, සුද්දෝ කියපු විදිහට නම් Victoria Esplanade. ඒ කාලේ නම් මේ මහ මළුවේ කෘෂිකාර්මික ප්‍රදර්ශන, අශ්ව සහ සුනඛ ප්‍රදර්ශන, ක්‍රොකෛ තරඟාවලි ආදිය නිතර පැවැත්වුණා. මේ මතින් යනවිට අද ඔබට ඉස් ඉස්සලම හමු වෙන්නේ ඩී ඇස් සේනානයක පිළිරුව. ඒ නිසාමදෝ ඒ ඉස්සරහ පාරටත් කියන්නේ ඩී ඇස් සේනානායක පාර කියලනේ. (ඒ වුණාට ඉස්සරනම් ඕකට කිව්වේ ත්රිකුණාමල වීදිය කියලයි.) ඊට පස්සේ මහමළුව ඇතුළට වෙන්න දකින්න ලැබෙන දේවල් අතර මද්දුම බණ්ඩාර පිළිරුව, වීර කැප්පෙටිපොළ ස්මාරකය, හේමමාලා දන්ත කුමරු පිළිරුව, සහ වාරියපොල ශ්‍රී සුමංගල හිමි පිළිරුව වනවා.
මේ පිළිරූ ඉදි වෙන්නට කලියෙන් මෙහි බොහොම උත්සවශ්‍රීයෙන් ඉදි වෙච්ච, විවෘත වෙච්ච ප්‍රතිමාවක් තිබුණා. ඒ හෙන්රි වෝඩ් ප්‍රතිමාව. ඒත් අද ඔබට එය එහි දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට මොකද වුණේ කියලා අන්තිමටම කියන්නම්. ඉතින් කවුද මේ හෙන්රි වෝඩ් කියන්නේ. අපි එයා ගැන පොඩ්ඩක් සෝදිසි කරලා බලමු.

සර් හෙන්රි ජෝජ් වෝඩ් (27 පෙබරවාරි 1797 සිට 2 අගෝස්තු 1860)

Portrait of Henry George Ward 1842 before he becomes the governor of Ceylon


සර් හෙන්රි කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික රාජ්‍යතාන්ත්‍රිකයෙක්, දේශපාලකයෙක්. ඔහුගේ යටත් විජිත පරිපාලක භූමිකාව තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ කියන්නේ 1855 මැයි 11 ඉඳන් 1860 ජූනි 30 වෙනකන්. වික්ටෝරියා මහරැජිනගේ සමයේදි, ඔය කිව්ව කාලෙ අතරදි, එනම් අවුරුදු 5ක් ඔහු ලංකාවේ (British Ceylon) ආණ්ඩුකාරයා විදිහට කටයුතු කරනවා. මේ වෙනකොට ලංකාවේ අන්තිම කැරැල්ලත් (1848) ඇතිවෙලා අවුරුදු කිහිපයක් ගත වෙලා ඉවරයි. ලංකාව තුළ දුම්රිය මාර්ග ඉදිකිරීම ආරම්භ කිරීමෙහි ලා ඔහු විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. සංක්‍රමික කම්කරුවන් (coolie) සම්බන්ධයෙන් ආර්ථික ප්‍රතිපත්තියක් ඇතිකිරීමටත්, ටෙලිග්රැපි සන්නිවේදනය පුළුල් කිරීමටත් ඔහු වැඩ කරනවා. 1860 අවුරුද්දේ ඔහුව ඉන්දියාවේ මදුරාසියේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කර යැවෙන නමුත් පත්වීමෙන් සති කිහිපයකට පසුව කොලරා රෝගය සෑදී මදුරාසියේදිම මිය යනවා.

British Colonial Officials

Sir Henry Ward, Governor of Ceylon 1855-1860; By Skeen & Co.


හෙන්රි වෝඩ් වෙනුවෙන් පෙත්සම් යැවූ ලංකා වැසියෝ


1858 කියන්නේ ඔහුට සුවිශේෂ අවුරුද්දක්. ඒ අවුරුද්දේ තමයි ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය ඔහුගේ මෙහෙයවීම යටතේ ඇරඹෙන්නේ. මේ සඳහා පළමු පස් පිඬැල්ල කැපීම වෙනුවෙන් 600ක සෙනගකගේ සහභාගීත්වයෙන් අගෝස්තු 3වනදා විශාල භෝජන උත්සවයකුත් පැවැත්වෙනවා. සවස 5.30 ට යෙදී තිබුණු සුබ මොහොතින් ආණ්ඩුකාර හෙන්රි වෝඩ් අතින්ම දුම්රිය මාර්ගය සඳහා මංගල පස් පිඬැල්ල කැපෙන්නේ බේරේ වැව අසබඩ ස්ථානයකදීයි.

Railway Inauguration - Cutting the first sod of the Ceylon Railways on 3rd August, 1858 by Sir Henry Ward, Governor of Ceylon.



නමුත් ඒ රේල් පීලි උඩ නිල වශයෙන් කෝච්චියක් යනවා දකින්න තරම් ඔහු වරම් ලබන්නේ නැහැ. ඔහු ඊට පෙර මිය යනවනේ. ටෙලිග්රාප් සන්නිවේදන පද්ධතියේ වැඩත් මේ එක්කම ඒ අවුරුද්දේ ඇරඹෙනවා.
ඒ වගේම මේ කියන අවුරුද්දේ තමයි ඔහුගේ ලංකාවේ සේවා කාලය ඉවර වෙලා උසස් වීමක් ලැබෙන්නට නියම වෙලා තිබුණෙත්. ඒක වෙනස් වෙලා ඔහුට ලංකාවේම දිගටම ඉන්න ලැබුණේ කොහොමද දන්නවද? ඒ ලංකා වැසියෝ ගහපු පෙත්සමක් නිසා. ලංකාවේ වැසියන් - බ්‍රිතාන්‍යයන් සහ ඉහළ කුලයන්හි ස්වදේශිකයන් - 4000කගේ අත්සනින් යුතු පෙත්සමක් යටත් විජිත මහලේකම්වරයා වෙත යැවනෙවා රැජිනියට ආයාචනා කරමින් ශ්‍රීමත් හෙන්රි වෝඩ් නැවතත් ලංකාවටම පත් කරන ලෙස. ඒක විතරක්ම නෙවෙයි. මෙසේ කිරීමෙන් ඔහුට ලැබෙන්නට ඇති ඉහළ වැටුප අහිමි වන නිසා කොළණියේ ආදායමෙන් ගෙන ඔහුට පඩියට අමතරව තව පවුම් 3000ක වාර්ෂික දීමනාවකුත් ලබා දෙන්නට අනුමැතිය දෙන ලෙස එහි සඳහන් කරනවා. මේ පෙත්සම් කොහොම ගැහුණද කියන්න නම් අපි දන්නේ නැහැ. කොහොම නමුත් හෙන්රි වෝඩ් ලංකාවේ බහුතරයක් ස්වදේශික වැසියන්ගේ සහ ලක්දිව වසන සුද්දන්ගේ හොඳ හිත දිනාගත් පුද්ගලයෙක් බව ප්‍රසිද්ධ කරුණක්.

හෙන්රි වෝඩ් ප්‍රතිමාව


Statue of Sir Henry Ward. - Governor of Ceylon one time. Temple of the holy tooth in background, Kandy. By Plate & Co.



ඉතින් 1860දී ඔහු මදුරාසියේදි මිය ගියා කිව්වනේ. ලංකාවේ සිටි අවුරුදු 5ට පෙර සිටන්ම ඔහු අධිරාජ්‍යවාදයේ බොහොම වැදගත් නම් දරාපු පුද්ගලයෙක්. ඉතින් ඔහුත් ඔහුගේ සේවයත් සිහි කරමින් 1868දී ඔහුගේ පිළිරුවක් ඉදිවනවා බ්‍රිතාන්‍යයන් සහ ස්වදේශිකයන්ගේ මැදිහත් වීමෙන්. ඒ මහනුවර Queens හෝටලය ඉදිරිපිට මහමළුව පරිශ්‍රයේ නුවර වැවට මුහුණ ලා. මේ නිසා මේ ඉදිරිපිට මාර්ගය වෝඩ් පාර ලෙසින් නම් වෙනවා. අද නම් මේ පාර හඳුන්වන්නේ දළදා වීදිය යන නමින්. 1868 අගෝස්තු 5වනදා මේ ප්‍රතිමාව බොහොම උත්සවශ්‍රීයෙන් විශාල සෙනගකගේ සහභාගීත්වයෙන් විවෘත වෙනවා.


Illustrated London News published on 1868 November 7th  - Henry Ward Statue Opening



මෙය තිබූ තැන ඔබ අද සොයන්නට උත්සහ ගන්නවානම් වේල්ස් පොකුණත්, තොරතුරු මධ්යස්ථාන ගොඩනැගිල්ලත් (එකල අධිකරණ ශාලාව) ඇති දේව වීදිය කෙළින්, නුවර වැව දෙසට බරව මහමළුවේ සිට ගන්න.

Court House, Fountain, and Ward Statue in Kandy, Ceylon. Photograph of Kandy Court House which has pediment on colonnade of six columns, left; fountain opened by the Prince of Wales (King Edward VII), centre; statue of Sir Henry Ward (Governor 1855-60) to right at end of road; beyond is a lake, mountains rising far shore; people around Court House and fountain. By Scowen & Co.


Ward Statue on Esplanade



ඇත්තෙන්ම යම් සමරුවක් ඉදිකිරීමට මූලික අදහස ගොඩනැගෙන්නේත්, ඊට මුදල් එකතු වෙන්නේත් ඔහු ලංකාවෙන් මදුරාසියට උසස් වීමක් ලබා යනවිට. නමුත් ඔහු නොසිතූ ලෙස වයස අවුරුදු 63දී මිය යනවා මදුරාසියට ගොස් කෙටි කලකින්ම. ඒ නිසා මහනුවර නගරයේ ප්‍රතිමා සමරුවක් ලෙසින් එය පිහිටු වෙන්නේ ඔහු මිය ගියායෙන් පසුව. මේ ප්‍රතිමාව රැගෙන එන්නේ එංගලන්තයේ ඉඳන්. එය ලෝකඩ වලින් තැනූවක්. අඩි 8ක් උසයි. පිහිටුවෙන පාදස්තලය අඩි 14ක් උසට ඉදි වනවා කළුගල් පඩි 3ක් මත.



Illustrated London News published on 1866 January 13th - Statue of the Late Sir Henry Ward, Governor of Ceylon


පාදස්තලයේ මෙලෙස කොටා තිබුණා.
“1855 මැයි මස සිට 1860 ජූනි මස දක්වා ආණ්ඩුකාර ධූරය දැරූ ශ්රීමත් හෙන්රි ජෝජ් වෝඩ් (GCMG) මහතාගේ ශක්තිමත් පරිපාලන මෙහෙයවීම සිහිකොට එය අගය කරනු වස් මෙම පිළිමය ඉදිකර ඇත්තේ ලංකා වාසින් ලබාදුන් අරමුදල් වලිනි.”
ඊට අමතරව ඔහුගේ කථා වලින් උපුටා ගත් පාඨ කිහිපියක්ද පාදස්ථලයේ පිටුපස මෙලෙස කොටා තිබුණා.
"In all civilized countries it is with material improvements that all other improvement begins"

"My conscience tells me that to the best of my judgment and abilities I have tried to do my duty by you, and it is my hope that you will think of me hereafter as a man whose whole heart was in his work" 

ප්‍රතිමාවට මොකද වුණේ?

එල් බී සේනාරත්න මහතාගේ ලිපියක් පාදක කරගෙන මෙය දළදා පරිශ්රයෙන් ඉවත් වුණු සැටි මෙහි උපුටා දක්වන්නම්.
ඒ කොංගෝවේ දේශපාලකයෙකු වූ පැට්රිස් ලුමුම්බා ඝාතනය වූ 60 දශකයයි. කොංගෝවේ සිදුවූ මෙම ඝාතනයට විරෝධය පාමින් ලංකාවේ පේරාදෙණිය සරසවියේ සිසුන් 500ක පමණ ප්‍රමාණයක් පාරට බසිනවා. මහනුවරට එන මේ පිරිස එතැනින් නොනැවතී මහ මළුවට පිවිස සියලු ප්‍රයත්නයන් දරන්නේ මෙම පිළිමය ගලවා බිම දැමීමටයි.
උපරිම උත්සහයන් දැරුවත් කඩුවට සුළු පළුද්දක් එක් කරනවා හැරෙන්නට ඔවුනට එය බිම දැමීමට හැකි වන්නේ නෑ. යොදාගත් කඹය පවා කැඩෙනවා. මේ නැගෙන අධිරාජ්‍යවාදී විරෝධයත් සමඟ හැත්තෑව දශකයේ අග භාගයේ (1977 මැයි 12 ?) මහනුවර නගර සභාව ප්‍රජාතාන්ත්‍රිකව විසඳුමක් ගෙන එනවා මෙය කඩා බිඳ නොදමා එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට. නමුත් ඔවුන් එය යළි ස්ථාපිත කරන්නේ කොහේදැයි තීරණය කරන්නේ නැහැ.

Statue of Sir Henry Ward, Kandy. By Plate & Co.



මේ ඉවත් කිරීමේ කටයුත්ත පැවරෙන්නේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට (PWD – Public Works Department) එහි රාජකාරි කරන තරුණ ඉන්ජිනේරුවරයෙක් ලොරියක් සහ දොඹකරයක් රැගෙන පැමිණෙනවා මෙය ඉවත් කිරීමට. ඔහු පාදස්තලයට නැග පිළිමය වටේ කෙතරම් කැරකී කැරකී බැලුවත් පිළිමය පාදස්තලයට සවි කොට ඇති බෝල්ට් ඇණයක් හෝ වෙන යමක් සොයා ගන්නට නොහැකි වෙනවා. පුදුමයක්! මේ ලෝකඩ පිළිමය මෙලෙස පාදස්තල කොටසට බැඳී සවි වී තියෙන්නේ කෙලෙසද?
ඔහු කම්කරුවන්ට නියෝග කරනවා පිළිමය වටා දම්වැල් යොදන ලෙස.
"මහත්තයට පිස්සු! මේක කොහොමද ගලවන්නේ!" පළපුරුදු කම්කරුවන් කියන්නට වෙනවා. කෙසේ වුණත් නියෝගය අනුව ඔවුන් වැඩේ කරනවා. තරුණ ඉන්ජිනේරුවා පාදස්තලයෙන් බැස දොඹකරයට නියෝග දෙනවා එතූ දම්වැලෙන් පිළිමය ඔසවන ලෙස. පුදුමයක්! පිළිමය එසවෙනවා. ඉන්පසු බොහොම පරිස්සමට පිළිමය පොළවෙන් තැබෙනවා.
"කොහොමද ඒක වුණේ?" කම්කරුවන් සහ රැස්වූ පිරිස් විමසනවා.

Ward Street with Ward Statue


"පිළිමය නියම ගාණට මිම්මට හදලා තියෙන්නේ. කිසිම බෝල්ට් ඇණයක් පාවිච්චි කරන්න වෙලා නැහැ. පිළිමය සිටවෙලා තියෙන්නේ වෝඩ් ඇඳන් ඉන්න බූට් සපත්තු වල බරෙන්. ඔක්කොම බර යෙදෙන්නේ බූට් සපත්තු වලට." ඔහු පිළිතුරු දෙනවා.
මෙලෙස ගලවා ගන්නා හෙන්රි වෝඩ් ප්‍රතිමාව මහනුවර ජාතික කෞතුකාගාරය (පුරවිද්‍යා කෞතුකාගාරය නොවේ) අසලින් එළිමහනේ තැබෙනවා. නමුත් අඩි 14ක් උස පාදස්තලය නැතිව. ඒ නිසා පෙර ගාම්භීරත්වය අද ඔබට දැක ගත නොහැකි වේවි. කලක කිරි මුහුද දෙස බලා යෙහෙන් වැජඹුණු, යන එන බැතිමතුන්ගේ ආකර්ෂණයට ලක්වුණු හෙන්රි වෝඩ් අද තාප්පයක් අසලට වී සැඟවී පාර දෙස බලා සිටිනවා.

මූලාශ්‍ර

[1] සේනාරත්න එල්. බී, " Lives do matter;but history too matters," ඩේලි මිරර්, 2020 ජූනි 22.
[2] Illustrated London News, 1866 ජනවාරි 13 සහ 1868 නොවැම්බර් 7
[3] Ferguson's Ceylon Directory
[4] A Guide to Kandy, with Maps. by Skeen, George J.A 1903

Sir Henry Ward facing the Kandy Lake at the intersection



Comments