Scowen and Co.

අපේ සටහන් එක්ක එකතු වෙලා ඉන්න බොහෝ දෙනෙකුට දැන් බොහොම හුරු පුරුදු වචන ටිකක් තමයි "ස්කෝවන්", "ස්කීන්", "ප්ලැටේ" සහ “කොළඹ ඇපොතිකරි” කියන්නේ.


මේ නම් කිහිපය අපගේ සටහන් එක්ක අලවා ඇති බොහොමයක් ඡායාරූප පහළින් ඔබ දැක ඇති. මේවා ඇවිල්ලා ඒ කාලේ ලංකාවේ (Ceylon) තිබිච්ච ඡායාරූප චිත්‍රාගාර. ඒවා බිහිකරන්න මුල් වෙච්ච අයගේ නම්. මෙයින් කිහිපයකට ලංකාව ඇතුළේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් - කොළඹ සහ නුවර - ශාඛා කිහිපයක්ම ඉදිකරන්නට පවා හැකි වුණා. මේ සටහනින් කියන්න යන්නේ "ස්කෝවන්" ගැන.

චාල්ස් තෝමස් ස්කෝවන් (1852 මාර්තු 11 - 1948 නොවැම්බර් 24) 

Self Portrait of Charles T. Scowen



ස්කෝවන් සහ සමාගම ආරම්භ කරන්නට මූලිකයා වන්නේ ඔහුයි. බ්‍රිතාන්‍ය ජාතික වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්. 1870 දශකයේ සිට 1890 දශකය දක්වා තමයි මේ වෘත්තියේ නියැලෙන ඔහුගේ ක්‍රියාකාරී කාලය. ලංකාවේ වගේම ඉන්දියාවෙත් වැඩ කරනවා.

ලංකා ගමන

1873දී, වයස විසි එකේදි, ඔහු ආර්. එඩ්ලි (R. Edley) නම් මහනුවර කොමිස් ඒජන්තගේ (commission agent) සහයකයෙක් විදිහට ලංකාවට ආවාට ආශාව තිබුණේ ඡායාරූප ක්ෂේත්‍රයේ. ඔහු විවාහ දිවියට ඇතුළු වන්නේත් ඒ අවුරුද්දේ අග භාගයේදීමයි. ඒ ඈන් එලීසා ගේන් (Anne Eliza Gane) සමඟින්. ඒ කියන්නේ එංගලන්තෙදි විවාහ වෙලා තමයි ලංකාවට එන්නේ. ලංකාවේ සුන්දරත්වයෙන් ආසක්ත වෙන තරුණ ස්කොවන්, රැකියාවට වඩා ඇලුම් කරන්නේ මේ සුන්දරත්වය ඡායාරූපගත කරන්න. ඔහු ඡායාරූප ශිල්පය පිළිබඳ හැදෑරීමක් හෝ පෙර අත්දැකීම් තිබුණු පුද්ගලයෙකු නොවුණත් සුළු කාරණා පවා දකින්න හැකි හොඳ කලා ඇසක් තිබූ පුද්ගලයෙක්.

ඡායාරූප චිත්‍රාගාර

වයස විසි හතරක තරුණයෙක් ලෙස 1876දී ඔහු Scowen & Co නමින් තමාගේම ඡායාරූප චිත්රාගාරයක් අරඹනවා මහනුවර, ත්රිකුණාමල වීදියේ (වර්තමාන ඩී ඇස් සේනානායක වීදිය). නුවර ශාඛාව පසුව එතැනින් මහනුවර වෝඩ් මාවත (වර්තමාන දළදා වීදිය) වෙත ගෙන යනවා. 1883දී විතර දෙවන ශාඛාව ඉදිකරනවා කොළඹ. මුලින්ම රැජින වීදියේ (වර්තමාන ජනාධිපති මාවත) ඇරඹුණු එය පසුව යෝක් වීදිය අසල යෝක් ආර්කේඩ් වෙත ගෙන යනවා.
Trincomalee Street, Kandy Ceylon



Ward Street, Kandy, Ceylon


ශිල්පීය දක්ෂතා

ඔහු මෙතරම් ප්‍රසිද්ධ වන්නට ප්‍රධාන හේතු වන්නේ ඡායාරූපවල ඔහු යොදා ඇති මනා ආලෝකකරණයත්, ඔහුගේ ප්‍රබල සංරචන හැකියාවත් සහ ඡායාරූප මුද්‍රණයේදී උසස් තත්වයෙන් යුතු මුද්‍රණ තාක්ෂණය භාවිතයත් කියන කාරණායි. නමුත් ඔහුට කලින්, "ස්කීන් සහ සමාගම" ලංකාවේ ඡායාරූප ක්ෂේත්‍රයේ ස්ථාපිතව හොඳ නමක් දිනා සිටි නිසා ඒ තරඟකාරීත්වය නම් අභිබවන්න ටිකක් අමාරු වෙනවා. ස්කෝවන් මේ ක්ෂේත්‍රයේ රැඳී සිටියේ කෙටි කලක් වුණත් එම කාලය තුළ ඔහු කල නිර්මාණ තුළ ඇති කලාත්මක රසයත් තාක්ෂණික නිපුණතාවයත් පැරණි තරඟකරුවාට වඩා ඉහළ මට්ටමකින් තිබෙනවා යයි පැවසෙනවා. විශේෂයෙන්ම උද්භිද විද්‍යාධ්‍යයනයන් සඳහා ඔහුගේ ඡායාරූප සේවය කැපී පෙනනවා. ඔහුට හැකි වනවා ඔහුගේ ක්‍රියාකාරී කාලය තුළ ලංකාව සම්බන්ධ විශාල ප්‍රමාණයක් තේමාවන් ඔහුගේ ඡායාරූප තුළින් ආවරණය කරන්න. ඒ අතර භූ දර්ශන, වැදගත් ස්ථාන, විවිධාකාර පුද්ගලයන්, ඇඳුම් පැළඳුම් සහ විවිධ උත්සව අන්තර්ගත වෙනවා.

විශ්‍රාම ගැනීම

1890 පමණ වන විට ඔහු වෘත්තියෙන් විශ්‍රාම ගෙන නැවත පෙරළා බ්‍රිතාන්‍ය බලා යනවා. නමුත් එහි යෑමට පෙර ඔහු ලංකාවේ තේ වැවිලිකරුවෙකු ලෙසද කටයුතු කරනවා. ඒ පන්විල හෝල්ටන් වතු යායේ.

Workers Plucking Tea at Holton Estate, Panwila, Ceylon



බ්‍රිතාන්‍යයට යනවිට ලංකාවේ ඔහුගේ ව්‍යාපාර කටයුතු බලාකියාගන්න දෙන්නේ ඔහුගේ සහෝදර මෝටිමර් ස්කෝවන්ට (Mortimer Scowen). 1894 වන විට සමාගමේ කලාගාර ඇතුළු නෙගටිව් පට සියල්ලම "කොළඹ ඇපොතිකරි සමාගම" මිලයට ගන්නවා. වයස 96දී බ්‍රිතාන්‍යයේදි ඔහු මිය යනවා.

Comments