Ceylon Contingent Memorial

ඔබට මතක ඇති පෙර ලිපියකින් අපි දළදා මාළිගා මහමළුවෙන්, එහෙම නැතිනම් සුද්දගේ කාලේ කියපු විදිහට Victoria Esplanade එකෙන් ඉවත් කෙරුණු හෙන්රි වෝඩ් ප්රතිමාව ගැන කිව්වා. මේ කියන්න යන්නේත් ඒ විදිහට සුද්දගේ කාලේ හදෝලා අපේ කාලේ ගලෝපු තවත් ප්රතිමාවක් ගැන කියන්න.

01. View from Queens Hotel, Kandy, of the Victoria Espalande

⚜️ දළදා මාළිගා මහමළුවේ අද ඔබ නොදකින ප්රතිමා - දෙවන කොටස ⚜️


ඒ කාලේ මේ මහ මළුව බොහොම ඉඩකඩ ඇති තණ පිට්ටනියක්. ඒ නිසාම එතැන කෘෂිකාර්මික ප්රදර්ශන, අශ්ව සහ සුනඛ සංදර්ශන, ක්රොකෛ (croquet) තරඟාවලි ආදිය නිතර පැවැත්වුණා. එහි තිබුණේ ප්රතිමා දෙකයි. [Photo 01]

ඔබට මතකද හෙන්රි වෝඩ් ප්රතිමාව තිබිච්ච තැන ගැන අපි කිව්වා. මහ මළුවේ, දේව වීදියට කෙළින් දළදා වීදිය පැත්තට බරව නුවර වැව දිහා බලාගෙන ඉන්න විදිහටනේ මේක තිබුණේ. අද කියන්න යන ප්රතිමාව තිබුණේ ඊට ටිකක් ඉදිරියෙන්. අද ඩී. ඇස්. සේනානායක පිළිරුව තියෙන්නේ, අන්න ඒ හරියෙ වගේ.
ඉතින් මොකද්ද මේ ගලෝපු ප්රතිමාව?

ලංකා අශ්වාරෝහක පාබල හමුදාවේ (පසු කාලිනව මෙය ලංකා අශ්වාරෝහක රයිෆල් බලකාය ලෙසින් වෙනස් වේ) බෝයර් යුද්ධයට ගොස් දිවිපිදූවන් වෙනුවෙන් ඉදිකළ ස්මාරකය ගැන තමයි මේ කියන්න යන්නේ. මෙය ලංකා මිත්ර හමුදා ස්මාරකය ලෙසින්ද හැඳින්වෙනවා (Ceylon Contingent Memorial). [Photo 02]

02. Espalande showing temple of the Holy Tooth, Kandy, Ceylon



මේක මහමළුවෙන් ගලවන්න යෙදුණු කාරණාව කියන්න කලින් බෝයර් යුද්ධය අපිට බලපෑවේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලමු.

🎖 බෝයර් යුද්ධය 🎖

මේ යුද්දේ ගැන විස්තර කරන්න නම් වේලාවක් නැහැ. අනෙක මේක අපේ රටේ යුද්ධයකුත් නෙවෙයි නේ. මේක වෙන්නේ දකුණු අප්රිකාවේ. බෝයර්ලා කියන්නෙත් සුදු හම තියන කට්ටියක්ම තමයි. සරලව කිව්වොත් යම් ආකාරෙක ලන්දේසි ජන කොට්ඨාශයක්. ලංකාවට, විශේෂයෙන්ම දියතලාවට අරගෙන එන බොයර් සිරකරුවෝ ගැන අහලා තියනවා නේද. මේ අතරින් එක සිරකරුවෙක් නම් අපට විශේෂයි. ඒත් දැන් ඒ ගැන කියන්න වෙලාවක් නැහැ. ලන්දේසි භාෂාවෙන් බෝයර් (Boer) කියන්නේ ගොවියට. සිංහල උරුවට අපි මේ වචනේ බෝයර් කියලා උච්චාරණය කරන්න පුරුදු වෙලා හිටියට නියම විදිහ /bʊər/ බුවර්. දකුණු අප්රිකාවේ පදිංචි වෙලා ඉන්න මේ බෝයර්ලයි, බ්රිතාන්ය අධිරාජ්යයයි අතර ඇතිවෙන යුද්ධයක් තමයි මේක.
1899දී දෙවන බෝයර් යුද්ධය ඇති වෙනකොට ලංකාවෙනුත් (British Ceylon) බලඇණි කිහිපයක් යැවෙනවා දකුණු අප්රිකාවේ සටන් බිමට. 1902දී යුද්දෙ ඉවර වුණාම ඔවුන් සිදුකළ විශිෂ්ට සේවාවාත් බොහොම ඉහළින් ඇගයෙනවා. මෙලෙස මිත්ර හමුදා ලෙස ලංකාවෙන් යවන්නේ ලංකා අශ්වාරෝහක පාබල හමුදාවෙත් (Ceylon Mounted Infantry – CMI) ලංකා වැවිලිකරුවන්ගේ රයිෆල් බලකායෙත් (Ceylon Planters Rifle Corps – CPRC) බලඇණි කිහිපයක්.
මේ යුද්ධයෙදි ලංකා අශ්වාරෝහක පාබල හමුදාවේ අට දෙනෙකු මිය යනවා. ලුතිනන් නිලධාරියෙකුත් අනෙකුත් ශ්රේණිවල සෙබළුන් හත් දෙනෙකුත්. ඉන් දෙදෙනෙක් ක්රියාන්විත රාජකාරියේදි මිය යන අය. අනෙක් අය මිය යන්නේ දකුණු අප්රිකාවේදි රෝගි වෙලා. ඉතින් මේ අට දෙනා සිහිපත් කරලා තමයි මේ ස්මාරකය හැදෙන්නේ. (මහනුවර දළදා මාලිගාවට පසෙකින් තියන ශාන්ත පාවුළු පල්ලියට ගියොත් මේ අට දෙනාගෙන් හය දෙනෙකු ගැන තවත් සිහිවටනයක් දැක බලාගත හැකි වේවි.)

🎖 ස්මාරකය 🎖

අට දෙනාමයි කිව්වට එහෙමමත් නෙවෙයි. ස්මරකය ඉදිවන්න මූලික හේතුව වන්නේ එක්කෙනෙක්. ඒ තමයි ලුතිනන්වරයා. ලුතිනන් ආතර් එච්. තෝමස්. [Photo 03]

03. Lt. Arthur H. Thomas



ඔහුගේ නෑනා තමයි මේ ස්මාරකය නිර්මාණය කරන්න මුල් වෙන්නේ. ඒ 1906දී. ජෙරල්ඩින් බ්ලේක්, [Photo 04,05,06] ඇය මූර්ති ශිල්පිනියක්.

04. Geraldine Blake (nee Mrs. Thomas) in middle age

05 Geraldine Blake (nee Mrs. Thomas) in old age

06. Geraldine Blake in young age



තම මස්සිනා වෙනුවෙන් ඇය මේ ස්මාරකය ලන්ඩනයේදි සකසා ලංකා හමුදාවට තිළිණ කරනවා. ආතර් තෝමස් කියන්නේ ඇගේ ස්වාමියා වුණු කපිතාන් එඩ්වඩ් එච්. තෝමස්ගේ [Photo 07] සහෝදරයා.

07. Capt. Edward Hector Le Marchant Thomas in old age



මේ අයියයි මල්ලියි දෙන්නම ලංකාවෙදි ඉපදුණු සුදු ජාතිකයන්. ඔවුන්ගේ පවුල මඩොල්කැලේ ගල්හිරියා (Galleheria, Madulkelle) කෝපි වතුයායේ අයිතිකරුවන්. ආතර් ඉපදෙන්නේ 1866 වසරේ. එඩ්වඩ් 1867 වසරේ. දෙන්නම අශ්වාරෝහක පාබල හමුදාවේ.
එඩ්වඩ් බෝයර් යුද්ධයට එකතු වෙන්නේ ලාන්ස් කෝප්රල්වරයෙකු විදිහට. 1900 වර්ෂයේදි ඔහු බෝයර් යුද්ධෙන් තුවාල ලබලා එංගලන්තෙට එනවා. එසේ එනවිට තමන්ගේ සහෝදරියන් සියල්ලෝම කලු ඇඳගෙන.
"ඇයි ඔයගොල්ලෝ කළු ඇඳගෙන?" ඔහු පුදුමයෙන් විමසනවා.
"ඔයා දන්නේ නැද්ද, ආතර් මිය ගිහින්." ඔවුන් කියනවා. ඔහුට කෙලෙසකවත් දැනගන්න විදිහක් තිබුණේ නැහැ තමන්ගේ සහෝදරයා යුද්දෙදි මිය ගිය වග.
දකුණු අප්රිකාවේ බුල්ට්ෆොන්ටෙන් හි දෙවන අධිකාරි නිලයේ කටයුතු කළ ආතර්, ලැබුණු ඔත්තුවකට අනුව කුඩා හමුදා භට කණ්ඩායමක් සමඟ බෝයර් භටයන් කිහිපදෙනෙක් සැඟවීගත් තැනක් යැයි පැවසූ ගොවිපළක් වෙත යනවා. ඔත්තුවට අනුව වැඩි සතුරන් පිරිසක් නැති නිසා ඔහු එතරම් පරිස්සමක් ගන්නේ නැහැ. නමුත් බොහොම අවාසනාවන්ත ලෙස ගොවිපොළේ සිටින්නේ කිහිප දෙනෙක් නොවෙයි. ආතර්ගේ කුඩා භට කණ්ඩායමට ඊට එදිරිව නැගෙන්නට බැරි වෙනවා. එනිසා 1900 ඔක්තෝබර් 4වෙනිදා දකුණු අප්රිකාවේ බුල්ට්ෆොන්ටෙන් නගරෙදි ආතර්ගේ හදවතටම වැදෙන වෙඩි පහරකින් ඔහු මිය යනවා. ඔහුට මේ වෙනකොට වයස අවුරුදු 34යි. ඔහුගේ අවාසනාවන්ත මරණය ගැන හමුදාවේ බොහෝ දෙනා වගේම මිත්ර බෝයර් ගොවියනුත් බොහොම දුක් වනවා. ඔහුගේ අවසන් කටයුතු සිදු කරන්නේත් දකුණු අප්රිකාවේමයි.
ආතර් තෝමස් සහ බෝයර් යුද්ධයේදි මියගිය අනෙක් ලංකා හමුදා සගයන් සිහි කරමින් ජෙරල්ඩීන් බ්ලේක් නිර්මාණය කල මේ ස්මාරකයෙන් නිරූපණය වන්නේ ලංකා අශ්වාරෝහක පාබල හමුදාවේ රයිෆලයක් අත දරාගෙන අසු අරා සිටින භටයෙක්. [Photo 08] ඔහු දක්වා සිටින අභිනයෙන් පෙන්වන්නේ සතුරන් ළඟ බවයි "Enemy at sight". ඔබට පේනවා ඇති ආතර්ගේ රැවුලම, ඒ මුහුණේ හැඩරුවම, මේ භටයාටත් ඇති බව. [Photo 09]

08. 'Victoria Esplanade, Kandy, Ceylon',
(1910). From The Hundred Best Views of Ceylon. [Plâté Ltd, Colombo, Kandy & Nuwara Eliya, 1910]. Artist Alfred William Amandus Plate. (Photo by Print Collector/Getty Images

09. Geraldine Blake working on the original of the memorial


මේ ස්මාරකයේ, අට දෙනා ගැනත්, ස්මාරකය තැනූ ජෙරල්ඩීන් ගැනත් මෙලෙස සඳහන් වුණා.
"In memoriam –Lieut. Arthur H. Thomas, Trooper Walter Max Kelly, C. Campion, Qr-Mr Sgt. Alexander Cheyne, Sgt. A. S. Hopper, Trooper Kenneth Hamilton, Trooper Claude Charles Cotes Bell, N. W. Smellie. This Memorial was designed by Mrs. Thomas (nee Geraldine Blake), wife of Edward Hector Le Marchant Thomas, a brother of Lieutenant Thomas."
1907 මාර්තු 18 වනදා බොහොම උත්සවශ්රීයේන්, ෆීල්ඩ් මාෂල්, කොනෝට් හී ආදිපාද ආතර් කුමරු අතින්, දළදා මාළිගා මහමළුවේ පිහිටුවෙන මේ ස්මාරකය විවෘත වෙනවා. [Photo 10,11,12] ඒ කපිතාන් එඩ්වඩ් තෝමස් සහ ජෙරල්ඩීන් අතිනත අරගෙන සති හයකට පස්සේ. මේ වැඩේට මූලිකත්වය ගන්නේ ආතර්ගේ සහ එඩ්වඩ්ගේ පියාණන් වූ ජ්යේෂ්ඨ තෝමස්. ඔහු එකල බොහොම ප්රසිද්ධ වතු හිමියෙක්. ලංකාවේ මුල් ජනපදවාසී සුද්දන්ගෙන් කෙනෙක්.

10. The Ceylon Contingent Memorial after unveiling


11. Ceylon Contingent Memorial unveiling by the Duke of Connaught. The ceremony

12. The Duke and Duchess in Ceylon and Ceylon Contingent Memorial unveiling ceremony news article published on "The Englishman" 1907 March 21


🎖 ස්මාරකය ඉවත් කිරීම 🎖

ඔබට මතකද හැටේ දශකයේ දළදා මාළිගා මහමළුවේ මේ සුද්දන්ගේ ප්රතිමා වලට නැගෙන විරෝධය ගැන, හෙන්රි වෝඩ් ගැන කියද්දි අපි කිව්වා. (කියවපු නැති කට්ටිය මෙතනින් කියවන්න )
ඉතින් මේ ස්මාරකයත් 70දශකයේදි මහමළුවෙන් ඉවත් වෙනවා. මෙසේ ඉවත් වෙන ලංකා මිත්ර හමුදා ස්මාරකය ලුතිනන් කර්නල් පානබොක්කගේ (1973 - 1979) මැදිහත් වීමෙන් සිංහ රේජිමේන්තු කඳවුරට ලැබෙනවා.
එදා ඉඳන් අද දක්වාම මේ ප්රතිමාව තියෙන්නේ නුවර පාරේ- යටිනුවර වීදිය (එකල බ්රවුන්රිග් මාවත), රජ වීදියට ඉදිරියෙන් ඇති, මහනුවර සිංහ රෙජිමේන්තු දෙවන ස්වේච්ඡා බලකා කඳවුරේ. ඒ අසල පාරින් ඔබ යනවනම් තාප්පයට ඉහළින් ඔබට මේ කොළ පැහැයෙන් යුතු අශ්වාරෝහක භටයා රයිෆලයක් එක් අතෙකින් ගෙන අනෙක් අතෙන් තෝන් පට අල්ලා සතුරන් එන සංකේතය දක්වමින් අසු අරා නැගී සිටිනවා දැක ගත හැකියි. [Photo 13]

13. The Ceylon Contingent Memorial in 1980 in the Barracks in Kandy after moving it from the esplanade



මූලාශ්
-Dishan Joseph, "A historic military bastion in Kandy," Sunday Observer, 15 October 2017.
-Geraldine Blake, Capt. Edward Hector Le Marchant Thomas https://www.wikitree.com/wiki/Blake-1900
-Lt. Arthur H. Thomas, Geraldine Blake, Capt. Edward Hector Le Marchant Thomas http://www.monchique.com/Ochanoff/ohanov/ochanoff/561.htm
-J. Penry Lewis, Tombstones and monuments in Ceylon, 1913

Comments