Edward Carpenter

අපෙන් කිහිප දෙනෙක් අහපු දෙයක් තමයි "කවුද මේ එඩ්වඩ් කාපෙන්ටර්?" කියන එක. ඉතින් මේ ලැහැස්ති වෙන්නේ එයා ගැන නොදන්න අයට එයා කවුරුන්දැයි හඳුන්වලා දෙන්න.

සුද්දාගේ කාලේ තතු විත්ති හොයන කෙනෙක් නම්, එයාගේ පොතේ (From Adam's Peak To Elephanta : Sketches in Ceylon and India) ලංකාව ගැන කියවෙන පරිච්ඡේද කිහිපය කියවන්නම ඕනි දෙයක්. අපිත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් ඒ පරිච්ඡේද සියල්ලම මෙන්න මෙතනින් සිංහලෙන් කියවන්නට පුළුවන්.

Edward Carpenter


⚜️ එඩ්වඩ් කාපෙන්ටර් (1844 අගෝස්තු 29 – 1929 ජූනි 28) ⚜️

එඩ්වඩ් කාපෙන්ටර් කියන්නේ ඉංග්රීසි ජාතික සමාජවාදි කවියෙක්, දාර්ශනිකයෙක්, සත්ව අයිතිවසිකම් සහ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි, මුල් කාලීන ක්රියාකාරී සාමාජිකයෙක්. ඔහු ලියූ බොහෝ ලිපි, ශාක හාර වාදය (vegetarianism) සඳහා සහයෝගය දැක්වීමටත්, පරීක්ෂණ උදෙසා සතුන් යෝදා ගැනීමට විරුද්ධත්වය දැක්වීමටත් පදනම් වෙනවා. විවිධ සමාජ දෘෂ්ටීන් ඔස්සේ ඔහු ලියූ කෘති බොහොමයයි. හැබැයි ඔහුගේ රැඩිකල්වාදි අදහස් එකල සමාජ සම්මතයන් එක්ක පෑහුණේ නැහැ.
ඔහු ඉපදෙන්නේ බ්රිතාන්යයේ සසෙක්ස් ප්රාන්තයේ හොඳ සල්ලිකාර පවුලක. ඒ හන්ඳා අත පය දිග ඇරලා හොඳට ඉගෙනගන්නත් ලැබෙනවා. ඒත් පියාගේ ඇවෑමෙන් පසුව ඔහුට ලැබෙන ධනයත් එක්ක ඔහු ගත කරන්නේ බොහොම සරල ජීවිතයක්.

⚜️ ලංකා ගමන (1890 ඔක්තෝබර් - 1891 ජනවාරි) ⚜️

හින්දු දර්ශනයට දැක්වූ දැඩි ආකර්ෂණය නිසා ඔහු 1890දී ඉන්දියාවට එනවා. ඒ යන ගමනේදි තමයි ලංකාවටත් ගොඩ බහින්නේ. ඒකටත් විශේෂ හේතුවක් තියනවා. ඔහු කේම්බ්රිජ් විද්යාලේ ඉගෙන ගන්න කාලේ ලාංකිකයෙකුත් එතැන ශිෂ්යයෙක් විදිහට හිටියා. මේ දෙන්නා එහෙදි හොඳ ගජ මිත්රයෝ වෙනවා. මේ ගජ මිත්රයා දැන් වැඩ කරන්නේ කුරුණෑගල. ඉතින් එයාවත් මුණගැහිලා යන්න තමයි ලංකාවට එන්නේ. මේ ගජ මිත්රයා කවුද කියලා දැනගන්න නම් අපිත් එක්ක දිගටම රැඳෙන්න වෙනවා. පොඩි ඉඟියක් දෙන්නම්. ඔහු දමිළ ජාතිකයෙක්. ලංකාවේ සිවිල් සේවයට එකතු වෙච්ච පළමු ලාංකිකයා.
ඉතින් මේ ගජ මිත්රයා මුණ ගැහෙන ගමන් ලංකාවේ සුවිශේෂ දේවල් දැකබලා ගන්නත් එඩ්වඩ් කාපෙන්ටර් අමතක කරන්නේ නැහැ. මේ සංචාරයේදි අත්දුටු දේවල් අනුසාරයෙන් තමයි ඔහු “ආදම්ගේ ශිඛරය මතින් එලිෆන්ටා ගුහා වෙත – ලක්දිව සහ ඉන්දියාවේ රූප සටහන්”කෘතිය ලියන්නේ. 1892දී එය මුද්රණයෙන් පිටවෙනවා. මෙම කෘතියේ මුල් අඩ වෙන්වන්නේ ලංකාව වෙනුවෙන්. ඒ කියන්නේ පරිච්ඡේද අංක එකේ ඉඳන් හත දක්වා. ලංකාවේ සේවය කරමින්, ව්යාපාර කරමින්, මිෂනාරි සේවා කටයුතු කරමින් හෝ ලංකාවේ පදිංචි වෙමින් කෘති ලියූ විදේශිකයන්ට වඩා එඩ්වර්ඩ් කාපෙන්ටර් සුවිශේෂ වෙන්නේ ඔහු සංචාරකයෙකු ලෙස මෙය ලියූ බ්රිතාන්ය ජාතිකයෙකු නිසා. ඔහුට උසස් පහත් භේදයක් නැහැ. ජාති භේදයක් නැහැ. සියල්ලන්ම ස්වදේශිකයන්. හැමෝම එක්කම ගණුදෙණු කරන්නේ එක වගේ.
කළුවාගේ පිටසර පැල්කොටයත්, රත්නපුර නන්නාඳුනන කඩ කුටියත්, නුවර එළිය හෝටලයත්, තමන්ගේ අතිජාත මිත්රයාගේ නිවසත්, වතු කළමනාකාරවරයාගේ බංගලාවත්, දඹුල්ලට/අනුරාධපුරයට යන ගොං කරත්තයත්, නිදාගැනීම පිණිස ඔහුට එකසේ ඔට්ටුයි. පෙරකදෝරු මොණරසිංහ සමඟත්, පුරවිද්යා දැනුමැත්තෙකු වූ F. H. මොඩර් සමඟත්, මහනුවර දළදා මාළිගාවේ පුස්තකාලාධිපති වියපත් බෞද්ධ හිමිනම සමඟත්, කුරුණෑගල චණ්ඩාල අස්සපාලක සේවකයා සමඟත් එකසේ කතා බහේ යෙදෙනවා. ඉගන ගන්නට යමක් ඇත්නම් එය පාරුවක උයා පිහින වයස අවුරුදු 12ක කොලුගැටයෙකු වූ තොරෝනිස්ගෙන් වුණත්, අබිං කඩේ වයස අවුරුදු 30ක අබිං වෙළෙන්ඳෙකුගෙන් වුණත්, තිහත් පැනපු දරු මල්ලො ඉන්න පවුල්කාරයෙක් වෙච්ච ස්වාමිනාදන්ගෙන් වුණත් ඉගෙන ගන්න එක ඔහුට අපුලක් නොවෙයි. ඉතින් ඒ හන්දා තමයි අපි කිව්වේ මේක කියවන්නම ඕනි දෙයක් දෙයක් කියලා.

Comments